සයුරෙන් එතෙර

ත්‍රස්තවාදයට හිස නොනමන බව ඉන්දියාව කියයි

April 25, 2026   02:12 pm

ඉන්දියාව කිසිදු ආකාරයක භීෂණයකට කිසිවිටෙකත් හිස නොනමන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

පහල්ගාම්හි සිදු වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී වසරක් සපිරීම නිමිත්තෙන් එය සිහිකරමින්, "පසුගිය වසරේ පහල්ගාම්හි සිදුවූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිමි වූ අහිංසක මිනිස් ජීවිත සිහිපත් කරනවා. ඔවුන් කිසිදා අමතක වෙන්නේ නැහැ" යනුවෙන් අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ. 

ජම්මු සහ කාශ්මීරයේදී පාකිස්තානය පදනම් කරගත් ලෂ්කාර්-ඊ-තයිබා ත්‍රස්තවාදී කණ්ඩායම විසින් එල්ල කළ බව පැවසෙන මෙම ප්‍රහාරය, සංචාරකයින් ඇතුළු සිවිල් වැසියන් ඉලක්ක කර ගත් අතර, ඊට ඉන්දියාවෙන් දැඩි විරෝධයක් මෙන්ම ප්‍රබල හමුදාමය සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිචාරයක් එල්ල වීමටද හේතු විය.

ජාත්‍යන්තර නායකයන් ද ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය එකඟතාවය අවධාරණය කරමින් ඉන්දියාවට සහාය පළ කර තිබුණි.

ඉන්දියාවේ අමෙරිකානු තානාපතිවරයාද පවසා තිබුණේ, "අපි අහිංසක වින්දිතයන් සිහිපත් කරන බවය. ත්‍රස්තවාදයට එරෙහි සටනේදී එක්සත් ජනපදය ඉන්දීය ජනතාව සමඟ සිටින බවද ඔහු පවසා තිබේ.

ඊශ්‍රායලයේ ඉන්දීය තානාපති ද ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ඊශ්‍රායලය ඉන්දියාව සමඟ සිටින බවට තහවුරු කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.