වොෂින්ටන් වෙඩික්කරුට ට්‍රම්ප් ඝාතන චෝදනා
සයුරෙන් එතෙර

වොෂින්ටන් වෙඩික්කරුට ට්‍රම්ප් ඝාතන චෝදනා

April 28, 2026   07:08 am

ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ වොෂින්ටන් රාත්‍රී භෝජන සංග්‍රහයකදී වෙඩි තැබූ බවට චෝදනා එල්ල වූ පුද්ගලයාට අමෙරිකානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඔහු වැරදිකරු වුවහොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සිදුවීම අමෙරිකා එක්සත් ජනපදය තුළ පවතින දේශපාලන ප්‍රචණ්ඩත්වයේ නවතම සිදුවීම වේ. 

පසුගිය සැප්තැම්බර් මාසයේදී කොන්සර්වේටිව් දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන චාලි කර්ක් රැලියකදී වෙඩි තබා ඝාතනය කරන ලදී. 

ඊට මාස කිහිපයකට පෙර මිනසෝටා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරියක සහ ඇගේ සැමියා ද මරා දමන ලදී. 

ට්‍රම්ප් ද 2024 ජනාධිපතිවරණ ව්‍යාපාරය අතරතුර දෙවතාවක්ම ඝාතන ප්‍රයත්නයන්ගේ ඉලක්කය බවට පත්විය.

වැඩබලන නීතිපති ටොඩ් බ්ලැන්ච් මාධ්‍ය වෙත පැවසුවේ, ඇලන් විසින් ට්‍රම්ප්ව ඉලක්ක කර ඇත්තේ ඔහු "ද්‍රෝහියෙකු" ලෙස සලකා ඇති නිසා බව විමර්ශකයින් විශ්වාස කරන බවය.

සිද්ධිය වූ දින රාත්‍රියේ ඇලන් තම ඥාතීන්ට යැවූ විද්‍යුත් තැපෑලක ජනාධිපතිවරයාට අපහාසාත්මක ලෙස ඇමතීමෙන් මෙය තහවුරු වන බව ඔහු පැවසීය.

කැලිෆෝනියාවේ ටොරන්ස්හි පදිංචිකරුවෙකු වන ඇලන්ට එරෙහිව ප්‍රාන්ත සීමා හරහා නීති විරෝධී ලෙස ගිනිඅවි ප්‍රවාහනය කිරීම සහ ගිනිඅවියක් භාවිතා කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇත.

ඇලන් වොෂින්ටනයට පැමිණෙන විට තුවක්කුවක් සහ පිහි තුනක් රැගෙන විත් ඇති අතර, .38 කැලිබර් අර්ධ ස්වයංක්‍රීය අත් තුවක්කුවක් ද ඔහු සතුව තිබී ඇත.

අධිකරණයේදී ඇලන් පවසා සිටියේ තමා පරිගණක විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකු බවය.

ඔහුගේ විත්තියේ නීතිඥවරයා ප්‍රකාශ කළේ ඇලන්ට මීට පෙර කිසිදු අපරාධ වාර්තාවක් නොමැති බවයි. 

කෙසේ වෙතත්, නඩු විභාගය තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.

FBI වාර්තාවලට අනුව ඇලන් අප්‍රේල් 6 වන දින මෙම භෝජන සංග්‍රහය පැවැති වොෂින්ටන් හිල්ටන් හෝටලයේ කාමරයක් වෙන් කරවාගෙන ඇත. 

ඔහු කැලිෆෝනියාවේ සිට දුම්රියෙන් වොෂින්ටනයට පැමිණ තිබේ.