සයුරෙන් එතෙර

පාකිස්තාන ප්‍රහාරවලින් දරුවන් මියගිය බවට ඇෆ්ගනිස්තානයෙන් චෝදනා

March 17, 2026   08:51 am

ඇෆ්ගන් - පාකිස්තාන දේශසීමා ආශ්‍රිතව ඇතිවූ ගැටුම් හේතුවෙන් ඇෆ්ගනිස්තානය තුළ මියගිය මුළු සංඛ්‍යාව හත් දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි තලේබාන් රජයේ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.

පාකිස්තානය විසින් නැගෙනහිර ඇෆ්ගනිස්තානයට එල්ල කළ ප්‍රහාරවලින් එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබූ බවද තලේබාන් රජය පවසා තිබේ.

විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ මියගිය අය අතර කුඩා දරුවන් දෙදෙනෙකු ද වන බවය.

දෙරට අතර සටන් තීව්‍ර වූයේ පෙබරවාරි 26 වැනිදාය. 

ඒ, පාකිස්තාන තලේබාන් සංවිධානය ඉලක්ක කරගනිමින් මීට පෙර පාකිස්තානය එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඇෆ්ගනිස්තානය සිය හවුල් දේශසීමාව ඔස්සේ ප්‍රහාරයක් දියත් කිරීමත් සමඟය. 

මෙය සිදුවූයේ අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කරමින් කලාපීය යුද්ධයක් ආරම්භ කිරීමට දින දෙකකට පෙරය.

මෙහිදී  පාකිස්තානයට චෝදනා එල්ල වන්නේ සිවිල් වැසියන්ගේ නිවාස  හිතාමතාම ඉලක්ක කරගත් බවටය.