තොග බෙදාහැරීමේ සහ ප්‍රවාහන අංශයේ ඉන්ධන අවශ්‍යතා පිළිබඳ දත්ත රැස් කිරීමට වැඩසටහනක්

තොග බෙදාහැරීමේ සහ ප්‍රවාහන අංශයේ ඉන්ධන අවශ්‍යතා පිළිබඳ දත්ත රැස් කිරීමට වැඩසටහනක්

March 21, 2026   03:11 pm

මැදපෙරදිග යුදමය වාතාවරණයේ බලපෑම හේතුවෙන් රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආහාර බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ නියුතු ප්‍රවාහන සේවා සපයන්නන්ගේ ඉන්ධන අවශ්‍යතා නිවැරදිව හඳුනාගැනීම සහ එම අංශයේ සැලසුම්කරණය විධිමත් කිරීම අරමුණු කරගනිමින් විශේෂ දත්ත රැස් කිරීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර තිබේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ ආහාර බෙදැහැරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමටත් ඉන්ධන බෙදාහැරීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී වඩාත් නිවැරදි දත්ත භාවිත කිරීමටත් මෙමගින් අපේක්ෂා කරන බවය.

මෙම වැඩසටහන මගින් විශේෂයෙන් ඉලක්ක කරනු ලබන්නේ ප්‍රවාහන හෝ සැපයුම් මෙහෙයුම්වලට අදාළව වෙනත් කිසිදු අමාත්‍යාංශයක හෝ රජයේ නිල ලේඛනයක මේ දක්වා ලියාපදිංචි වී නොමැති ප්‍රවාහන සේවා සපයන්නන් පමණක් බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

අමාත්‍යාංශය පැවසුවේ දැනටමත් එවැනි රජයේ පද්ධතියක ලියාපදිංචි වී ඇත්නම් තම දත්ත ඉදිරිපත් කිරීම සඳහා අදාළ නිල සන්නිවේදන මාර්ග අනුගමනය කරන ලෙසය.

සමස්ත ක්ෂේත්‍රයේ පවතින ඉන්ධන ඉල්ලුම තක්සේරු කිරීම, ප්‍රවාහන සේවා සපයන්නන් මුහුණ දෙන මෙහෙයුම් ගැටලු හඳුනාගැනීම, නිවැරදි දත්ත මත පදනම් වූ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සහාය වීම මෙම දත්ත රැස් කිරීමේ ප්‍රධාන අරමුණ බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම දත්ත රැස් කිරීම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන තොරතුරු මත පදනම් වන අතර මේ හරහා රැස් කෙරෙන තොරතුරු විධිමත් විශ්ලේෂණයකින් පසුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත නිර්දේශ ලෙස ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යාංශය පැවසීය.

අදාළ දත්ත ඉදිරිපත් කිරීම සඳහා https://forms.gle/EPPu4bciG6onEptT9 යන සබැඳිය ඔස්සේ ගූගල් ආකෘති පත්‍රය වෙත පිවිසිය හැකි බවත් ඒ අනුව අදාළ තොරතුරු ලබා දෙන ලෙසත් අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

තොග බෙදාහැරීම් සහ ප්_රවාහන අංශයේ ඉන්ධන අවශ්_යතා පිළිබඳ දත්ත රැස්කිරීමේ විශේෂ වැඩසටහන by poornima