එක රැයෙන් ඉන්දියාවම වසඟයට ගත් කොලු ගැටයා

එක රැයෙන් ඉන්දියාවම වසඟයට ගත් කොලු ගැටයා

April 20, 2025   10:01 pm

IPL තරගාවලියේ ජයපූර් හිදී ඊයේ (19) පැවති ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහි තරගයේදී මංගල අයි. පී. එල්. තරගයට රාජස්ථාන් ක්‍රීඩක වෙයිභව් සූර්යවංශි ක්‍රීඩා කළේය.

යන්තම් වයස අවුරුදු 14 (14යි දින 23) සම්පූර්ණ වූ සූර්යවංශි සැලකෙන්නේ IPL වරම් හිමිකරගත් ළාබාලම ක්‍රීඩකයා ලෙසය.

ඔහුට පෙර IPL වරම් හිමිකරගත් ළාබාලම ක්‍රීඩකයා වී සිටියේ ප්‍රායාස් රේය. 2019 වසරේ දී  බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ප්‍රායාස් ක්‍රීඩාකරන විට අවුරුදු 16යි දින 157ක් විය.

ඊයේ තරගයේ දී ලක්නව් වෙතින් හිමි වූ ලකුණු 181ක ඉලක්කය හඹායෑම සඳහා යෂස්වි ජයස්වාල් සමගින් ඉනිම ඇරඹූ සූර්යවංශි පන්දු 20කින් ලකුණු 34ක් රැස්කළේය.

ඔහු, ජයිස්වාල් සමගින් පළමු කඩුල්ලට පන්දුවාර 8.4කදී ලකුණු 85ක සබඳතාවක්ද ගොඩනැගුවේය.

සූර්යවංශිගේ ඉනිමේ හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් විය.

අමතක නොවන මතකයකින් IPL ගමන ඇරඹූ ඔහු මෙම තරගයේ දී ප්‍රේක්ෂකයින් මවිත කරමින් මුහුණදුන් පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කළේය.

මෙවර තරගාවලියට අදාළව ඉකුත් වසරේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී රාජස්ථාන් විසින් සූර්යවංශිව මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 1.1කටය.

ඒ වනවිට ඔහුට අවුරුදු 13ක් විය. එයද IPL ඉතිහාසයේ ළබාලම ක්‍රීඩකයෙකුට හිමි වූ ඉහළම වටිනාකම විය.

වත්මන් ඉන්දීය 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කරන සූර්යවංශි, ඔස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායමට එරෙහිව පැවති සිව්දින තරගයකදී පන්දු 58කින් ශතකයක් රැස්කර ඇත.

බිහාර්හි උපත ලැබූවෙකු වන සූර්යවංශි එම පළාතේ 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් නොදැවී ලකුණු 332ක් රැස්කිරීමටද සමත්ව තිබේ.