
රජයට ලැබුණු ජනවරමට ගරු කරමින්, වගා හානිවලින් පීඩාවිඳින ගොවි ජනතාව සහ සතා සිව්පාවා රැකගැනීම සඳහා වහාම ස්ථිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ආසනයේ වැලිගැත්ත ප්‍රදේශයේ පවතින අලි-මිනිස් ගැටුම පිළිබඳ සොයා බැලීමට එක්වූ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, කුඹුරු අස්වැද්දීමට විශාල මුදලක් වැයවන බැවින් ගොවීන් තම දේපළ හා කණකර පවා උගස් තබා ගොවිතැන් කළද, අස්වැන්න සඳහා නිශ්චිත ස්ථාවර මිලක් නොලැබීමෙන් ඔවුන්ගේ ජන ජීවිත දැඩි ලෙස කඩාවැටී ඇති බවයි.
ඊට අමතරව දැඩි ලෙස බලපා ඇති අලි-මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් ජීවිත, සතුන්ගේ ජීවිත මෙන්ම වගා හා දේපළ විශාල වශයෙන් විනාශ වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදෙන බවට පොරොන්දු වී වසර දෙකක් ගතවී තිබුණද, කෙටිකාලීන විසඳුමක් හෝ ලබාදීමට වත්මන් ආණ්ඩුව අසමත්ව ඇති බවට චෝදනා කළ විපක්ෂ නායකවරයා, ජනතාව රජයට ඡන්දය ලබා දුන්නේ මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් අපේක්ෂාවෙන් බව මතක් කර සිටියේය.
එබැවින් ලැබුණු ජනවරම හමුවේ වගකීම්වලින් මඟ නොහැර, අසරණ වී සිටින ජනතාව රැකගැනීමේ ස්ථිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සහ ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.
එමෙන්ම විපක්ෂයක් ලෙස කුමන්ත්රණකාරී දේශපාලනයක නිරත නොවී, ජනතාව අතරට ගොස් විපක්ෂයේ මට්ටමින් ලබාදිය හැකි උපරිම සහනය හා විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.



















































