
හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා මෙහෙයවා ඇති සමස්ත වාහන සංඛ්‍යාව මිලියන 5ක සන්ධිස්ථානයට ළඟා වී ඇති බව එම වරාය පාලනාධිකාරිය පවසයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය පැවසුවේ වරායේ රථවාහන ප්‍රතිනැව්ගත කිරීමේ මෙහෙයුම්වල සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම ජයග්‍රහණය අත්කරගෙන ඇති බවය.
ඒ අනුව වාහන මෙහෙයුම් සහ ගබඩා කිරීමේ ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා විශේෂිත රථවාහන නෞකාගත කිරීමේ සහ ගොඩබෑමේ මෙහෙයුම් නැව් නැංගුරම් ස්ථානයක් සහ නව රථවාහන අංගණයක් ඉදිකිරීමට ද සැලසුම් කර තිබේ.
මෙම නව යටිතල පහසුකම් මගින් වරායේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ජාත්‍යන්තර රථවාහන ප්‍රවාහන නෞකා සමාගම්වල වැඩිවන අවශ්‍යතා සපුරාලීමට අපේක්ෂා කරන බව වරාය පාලනාධිකාරිය පෙන්වා දී ඇත.
මේ අතර, 2025 වසරේදී හම්බන්තොට වරාය හරහා වාහන 726,153ක් මෙහෙයවා ඇති අතර, 2024 වසරේදී එම සංඛ්‍යාව 579,362ක් ලෙස වාර්තා වී තිබුණි.
ඒ අනුව 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී වාහන මෙහෙයුම් සංඛ්‍යාව 146,791කින් හෙවත් සියයට 25.3කින් පමණ ඉහළ ගොස් තිබේ.
එමෙන්ම 2026 ජූලි මාසයේදී පමණක් වාහන 104,620ක් මෙහෙයවමින් හම්බන්තොට වරායේ එක් මාසයක් තුළ වාර්තා වූ වැඩිම රථවාහන මෙහෙයුම් සංඛ්‍යාව සනිටුහන් කර ඇති බව ද හම්බන්තොට වරාය පාලනාධිකාරිය සඳහන් කළේය.
මේ අතර, වරායේ වාහන මෙහෙයුම් ධාරිතාව පුළුල් කිරීමේ දෙවැනි අදියරේ පළමු පියවර යටතේ හෙක්ටයාර හයකින් යුත් නව රථවාහන නෞකාගත කිරීමේ සහ ගොඩබෑමේ මෙහෙයුම් අංගණයක් පසුගිය මාර්තු මාසයේදී මෙහෙයුම් සඳහා එක්කර ඇති බව ද සඳහන් වේ.
තවද, 2026 මැයි මාසයේ සිට CASCADIA සහ UGR සමාගම් විසින් හඳුන්වා දුන් නව රථවාහන ප්‍රවාහන සේවා හේතුවෙන් හම්බන්තොට වරායේ ජාත්‍යන්තර නෞකා ප්‍රවාහන ජාලය තවදුරටත් පුළුල් වී තිබේ.
2017 වසරේ දෙසැම්බර් මාසයේදී හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය යටතේ මෙහෙයුම් ආරම්භ කළ අවස්ථාවේ වාර්ෂිකව වාහන 100,000ක් පමණ මෙහෙයවා ඇති අතර, එතැන් සිට වරායේ රථවාහන මෙහෙයුම් ක්ෂේත්‍රය ක්‍රමයෙන් වර්ධනය වී ඇති බවද ඔවුන් සඳහන් කළේය.
ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව අතර සිදුකෙරෙන ජාත්‍යන්තර රථවාහන ප්‍රවාහනයේ ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට වරාය තවදුරටත් සංවර්ධනය කිරීම අපේක්ෂාව බව ද වරාය පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.



















































