
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූද් ඉමාඩ් මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවති හමුවකදීය.
මෙහිදී දෙරටේ සෞඛ්‍ය පද්ධතිවල අත්දැකීම් හා විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම, වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය නිපුණතා සංවර්ධනය සහ අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
එමෙන්ම, සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ ජනතාවට සෞඛ්‍ය සේවා ලබාගැනීමේ පහසුකම් ඉහළ නැංවීම සඳහා දෙරටට එක්ව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී ඇත.
දෙරට සතු සම්පත්, තාක්ෂණික දැනුම සහ විශේෂඥතාව ඵලදායී ලෙස යොදා ගනිමින් සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින අභියෝග ජය ගැනීම සඳහා අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කර තිබේ.
මේ අතර, පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් මාලදිවයිනට රුපියල් මිලියන පහකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීම පිළිබඳව ද සාකච්ඡාවේදී සිහිපත් කර ඇත.
එම මානුෂීය ආධාරය වෙනුවෙන් මාලදිවයින් රජය සහ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජයටත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටත් මහ කොමසාරිස්වරයා සිය විශේෂ කෘතඥතාව පළ කර තිබේ.
එම පරිත්‍යාගය දෙරට අතර පවතින සමීප මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය මැනවින් පිළිබිඹු කරන්නක් බව ද මහ කොමසාරිස්වරයා සඳහන් කර ඇත.
සෞඛ්‍ය ක්ෂේත්රයට අමතරව ජනමාධ්‍ය ක්ෂේත්රයේ අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීම, මාධ්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සහ දෙරටේ ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය පුළුල් කිරීම සඳහා ජනමාධ්‍යයට කළ හැකි දායකත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.



















































