
අපරාධ මර්දනය කිරීමෙන් පමණක් යහපත් රටක් නිර්මාණය කරගත නොහැකි බවත්, ජනතාවගේ ආර්ථිකය ද ශක්තිමත් කළ යුතු බවට බුද්ධ දේශනාවේ සඳහන්ව තිබීම තුළින් බුදු දහම කෙතරම් ප්‍රායෝගික දර්ශනයක් දැයි අවබෝධවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මෙරටදී අද (28) ආරම්භ වූ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී බුද්ධ දේශනාවේ කරුණු ගෙනහැර දක්වමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
"කිසියම් රාජ්‍යයක ස්ථාවරත්වය හෝ අස්ථාවරත්වය තීරණය වන්නේ රටේ පාලනය කරන පාලකයන්ගේ ක්‍රියාකලාපය මත බව.
පාලකයා ධාර්මික වෙනවා නම්, පාලකයා ප්‍රතිපත්තිගරුක වෙනවා නම් රට සෞභාග්‍යය කරා ගමන් කරනවා. පාලකයා දූෂිත වෙනවා නම්, අධාර්මික වෙනවා නම් මුළු රටම අරාජික වෙනවා.
මේ කාරණය සකල විධ රාජ්‍යයන්ට අදාළයි. ඒ නිසයි බුදු දහම ප්‍රායෝගික සහ සර්වකාලීන දහමක් බවට පත් වෙන්නේ" යැයි පැවසීය.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය කැලණිය නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මේ සඳහා ලෝක බෞද්ධ සංඝ සම්මේලනය නියෝජනය කරන රටවල් 50ක නායක ස්වාමීන් වහන්සේ, ගිහි ජනතාව මෙන්ම දෙස් විදෙස් විශාල පිරිසකගේ පැමිණ සිටී.
1966දී ශ්‍රී ලංකාවෙන් ඇරඹි ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ අරමුණ වන්නේ ලෝක සාමයයි.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් නාගානන්ද අධ්‍යයන ආයතනය විවෘත කිරීමද මෙහිදී සිදුකෙරුණි.
ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 'ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය' නිල වශයෙන් ආරම්භ විය.
මෙම අවස්ථාවට ත්‍රෛනිකායික මහනාහිමිවරු, අනුනායකහිමිවරු ප්රමුඛ මහා සංඝරත්නය ද වැඩමකර සිටියහ.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 11 වන මහ සභාවේ 02 වන විධායක කමිටු සභාවාරය ඇතුළු ආගමික වැඩසටහන් රැසක් හෙට සිට දෙසැම්බර් මස 02 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.















































