
ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ආසන්න ප්‍රදේශයක ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර සයිබර් වංචා සහ මිනිස් ජාවාරම් ජාලයක් අනාවරණය කර ගැනීමට ඉන්දීය පොලිසිය සමත්ව තිබේ.
එහිදී සයිබර් අපරාධ සඳහා බලහත්කාරයෙන් යොදාගෙන සිටි ඉන්දුනීසියානු ජාතිකයින් 92 දෙනෙකු සහ මැලේසියානු ජාතිකයින් 72 දෙනෙකු ඇතුළු විදේශිකයින් 164 දෙනෙකු මුදාගෙන ඇති බව වාර්තා වේ.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළ වැටුප් සහිත රැකියා ලබාදෙන බවට පොරොන්දු වෙමින් මෙම පිරිස ඉන්දියාවට ගෙන්වාගෙන ඇති බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත්, ඉන්දියාවට පැමිණීමෙන් අනතුරුව ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර බලධාරීන් භාරයට ගෙන ඇති අතර, නවදිල්ලි නගරයට ආසන්න ප්‍රධාන තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් වන නොයිඩා ප්‍රදේශයේ රඳවා තබාගෙන තිබේ.
එහිදී පොරොන්දු වූ රැකියා වෙනුවට අන්තර්ජාලය ඔස්සේ සයිබර් වංචා සිදු කිරීමට ඔවුන් බලහත්කාරයෙන් යොදවා ඇති බව අනාවරණය වී ඇත.
වංචාකරුවන්ගේ උපදෙස් මත ඔවුන් කාන්තාවන් ලෙස පෙනී සිටිමින් අන්තර්ජාලය හරහා පුද්ගලයින් සමඟ සම්බන්ධතා ගොඩනඟාගෙන, ව්‍යාජ ආයෝජන වේදිකා වෙත ඔවුන් යොමු කර මුදල් වංචා කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මැලේසියානු ජාතික සේවකයෙකු එම ස්ථානයෙන් පලාගොස් සිද්ධිය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමෙන් අනතුරුව මෙම ජාවාරම හෙළි කර ගැනීමට හැකි වී තිබේ.
මෙම අපරාධයට සම්බන්ධ බවට සැකපිට මේ වන විට එක් මැලේසියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඩෙස්ක්ටොප් පරිගණක, ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන 550කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන තිබේ.
එමෙන්ම මෙම ජාවාරමට සම්බන්ධ තවත් ජාත්‍යන්තර සයිබර් අපරාධ ජාලයක් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳවද ඉන්දීය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මේ අතර, ඉන්දියාව තුළ මෑත වසරවලදී සයිබර් මූල්‍ය වංචා සිදුවීම් ඉහළ යාම සම්බන්ධයෙන් එරට පොලිසිය සහ බැංකු පද්ධතිය දැඩි අවධානයක් යොමු කර තිබේ.
ඉන්දියාවේ ජාතික සයිබර් අපරාධ පැමිණිලි සම්බන්ධ දත්තවලට අනුව, 2025 වසරේදී සයිබර් මූල්‍ය වංචා සම්බන්ධ පැමිණිලි මිලියන 2.8ක් වාර්තා වී තිබේ.
එම වංචා හේතුවෙන් සිදුව ඇති මූල්‍ය අලාභය ඉන්දීය රුපියල් කෝටි 22,495ක් පමණ වන අතර, එය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.42කට ආසන්න අගයකි.
2021 වසරට සාපේක්ෂව 2025 වසරේදී සයිබර් වංචා පැමිණිලි සංඛ්‍යාව සියයට 4,000කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවද එම දත්ත මගින් අනාවරණය වේ.
ඉන්දීය මධ්‍යම රජය පවසන්නේ මෙම වංචා අතරින් බහුතරයක් ව්‍යාජ ආයෝජන සහ කොටස් වෙළඳාම් වංචාවලට සම්බන්ධ බවය.
එවැනි වංචාවලදී මූල්‍ය විශේෂඥයින් ලෙස පෙනී සිටින වංචාකරුවන් සමාජ මාධ්‍ය, පණිවුඩ හුවමාරු කණ්ඩායම් සහ දුරකථන ඇමතුම් හරහා පුද්ගලයින් සම්බන්ධ කර ගනිමින් ඉහළ ලාභ ලබාදෙන බවට පොරොන්දු වෙති.
අනතුරුව ඔවුන් ව්‍යාජ ආයෝජන සහ වෙළඳාම් වේදිකා වෙත යොමු කරනු ලබන අතර, එහිදී සැබෑ ලාභයක් උපයා ඇති බවට ව්‍යාජ තොරතුරු පෙන්වයි.
විශ්වාසය දිනා ගැනීම සඳහා මුලදී සුළු මුදල් ප්‍රමාණයක් ආපසු ලබාගැනීමට අවස්ථාව ලබාදෙන වංචාකරුවන්, විශාල මුදල් ප්‍රමාණයක් ආපසු ලබාගැනීමට උත්සාහ කිරීමේදී විවිධ බාධා ඇති කරමින් තවත් මුදල් ගෙවන ලෙස ඉල්ලා සිටින බවද වාර්තා වේ.
අවසානයේදී වින්දිතයින්ගේ මුදල් ලබාගෙන එම වංචාකරුවන් අතුරුදන් වන බව සඳහන් වේ.
නොයිඩා ප්‍රදේශයෙන් අනාවරණය වූ මෙම සිදුවීම උතුරු ඉන්දියාවේ මෑතකාලීනව හෙළි කරගත් ජාත්‍යන්තර සයිබර් වංචා මධ්‍යස්ථාන කිහිපයක නවතම සිදුවීම ලෙස සැලකේ.
මීට පෙර ලක්නව් සහ නවදිල්ලි නුවර පිටම්පුර ප්‍රදේශවලද මෙවැනි වංචා මධ්‍යස්ථාන සම්බන්ධයෙන් පොලිස් වැටලීම් සිදුකර තිබේ.
පසුගිය ජූලි මාසයේදී ලක්නව් පොලිසිය ඇමෙරිකානු පුරවැසියන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වූ ව්‍යාජ ජාත්‍යන්තර ඇමතුම් මධ්‍යස්ථානයක් වැටලීමෙන් පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
එහි සේවකයින් ප්‍රධාන පෙළේ සමාගම් සහ ඇමෙරිකානු රජයේ ආයතනවල නියෝජිතයින් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් රවටා මුදල් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.















































