
ශ්‍රී ලංකා පොලිසිය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය වරින් වර වෙනස්වන මහජන විශ්වාසය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාම බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
මත්ද්‍රව්‍ය ව්‍යසනය, ඊට අදාළ අපරාධ මෙන්ම සංවිධානාත්මක අපරාධ මැඩලීම පොලිසිය හමුවේ ඇති ප්‍රධාන වගකීමක් වුවද, ඊට සමාන්තරව මහජන ප්‍රශංසාව හා විශ්වාසය ගොඩනගා ගැනීමද අත්හළ නොහැකි අභියෝගයක් බව හෙතෙම සඳහන් කළේය.
මහියංගනය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව පැවසීය.
යම් යම් නිලධාරීන් අතින් සිදුවන අකටයුතුකම්, නොසැලකිලිමත්කම් සහ පැහැර හැරීම් හේතුවෙන් පොලිසිය කෙරෙහි ඇති මහජන විශ්වාසය වරින් වර පලුදු වන බව ඔහු පෙන්වා දුන්නේය.
පොලිස් සේවය සාර්ථකව මෙම අභියෝග ජයගනිමින් සිටින මොහොතක වුවද, එක් නිලධාරියෙකු කරන වැරැද්දක් මුල් කරගනිමින් සමස්ත පොලිස් සේවයම පහත් කොට සැලකීමට යම් කොටසක් බලා සිටින බවද සඳහන් කළේය.
කෙසේ වෙතත් එවැනි තත්ත්වයන් හමුවේ පොලිස් සේවය කිසිසේත්ම අධෛර්යමත් නොවන බව පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
අපේක්ෂිත විනය මහජනයා හමුවේ නොපෙන්වන හෝ වැරදිවල නිරත වන කිසිදු නිලධාරියෙකු ආරක්ෂා කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බවද පැවසූ ඔහු, සාමාන්‍ය නීතිය, විනය සංග්‍රහය සහ රජයේ විනය කාර්ය පටිපාටිය එම නිලධාරීන්ට ද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බව පෙන්වා දුන්නේය.
සමස්ත සමාජයම වෙළාගෙන ඇති මත්ද්‍රව්‍ය ව්‍යසනයේ බලපෑමට යම් පොලිස් නිලධාරීන් පිරිසක් ද ගොදුරු වී සිටින බව අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවන බවද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් එලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට හෝ භාවිතයට සම්බන්ධ වන කිසිදු නිලධාරියෙකු පොලිස් සේවයේ තබා ගැනීමට කටයුතු නොකරන බවත්, එම තොරතුරු සැඟවීමට හෝ අදාළ නිලධාරීන් ආරක්ෂා කිරීමට කිසිදු ලෙසකින් කටයුතු නොකරන බවත් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.



















































