
2026 වසරේ අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයේදී සියයට 1.46ක වැඩිවීමක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව මූලික වශයෙන් යෝජනා කර තිබේ.
ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාව අනුව, එම කාර්තුවේ විදුලි සැපයුම් පිරිවැය රුපියල් බිලියන 157.3ක් වන අතර, විදුලි අලෙවියෙන් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 154කි.
ඒ අනුව, රුපියල් බිලියන 4.4ක ආදායම් හිඟයක් පියවා ගැනීම සඳහා සියයට 2.88ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව එම ආයතනය යෝජනා කර තිබිණි.
කෙසේ වෙතත්, කොමිෂන් සභාවේ මූලික සමාලෝචනයේදී ගල්අඟුරු බලාගාර ධාරිතා පිරිවැය ඉහළ යාමට අදාළ පිරිවැය ඉවත් කිරීමත්, 2026 දෙවන කාර්තුවේ ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් ඇති වූ අමතර පිරිවැය නැවත සලකා බැලීමත් සමඟ යෝජිත වැඩිවීම සියයට 1.46 දක්වා අඩු කර තිබේ.
විදුලි උත්පාදන පුරෝකථන, ඉන්ධන මිල, ජල විදුලි උත්පාදනය, පුනර්ජනනීය බලශක්ති දායකත්වය, බැටරි බලශක්ති ගබඩා පද්ධතිවල පිරිවැය සහ විදුලි බෙදාහැරීමේ සමාගම ඉදිරිපත් කළ අතිරේක වියදම් ද මෙම සමාලෝචනයට ඇතුළත් වේ.
NSO විසින් සිව්වන කාර්තුව සඳහා ගිගාවොට් පැය 4,796ක විදුලි ඉල්ලුමක් පුරෝකථනය කර ඇති අතර, එම විදුලි උත්පාදනයෙන් 32.34%ක් ප්‍රධාන ජල විදුලියෙන් ද, 25.68%ක් ගල් අඟුරුවලින් ද, 28.81%ක් වෙනත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ද ලබා ගැනීමට අපේක්ෂා කරයි.
යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගැනීම සඳහා PUCSL මහජන උපදේශන ක්‍රියාවලියක් ද ආරම්භ කර තිබේ.
එම උපදේශනයට සහභාගී වීමට කැමති මහජනතාවට 0770399119 දුරකථන අංකය ඇමතීමෙන් ලියාපදිංචි විය හැකි බව කොමිෂන් සභාව සඳහන් කරයි.



















































