
සංචාරක ප්‍රවර්ධනයට බව පවසමින් රුපියල් කෝටි 10ක රජයේ මුදල් මෙරට පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් සත්කාරකත්වය දරන සමුළුවකට ලබාදීම පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ සංගමය විසින් අද (03) මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
කෙසේ වෙතත් මේ පිළිබඳ එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ එම පෞද්ගලික නාලිකාවට වෙන් කළේ රජයේ බදු මුදල් නොවන අතර සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් බවය.
ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ 63 වන මහා සමුළුව ඉකුත් ඉරිදා කොළඹදී පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ද සහභාගීත්වයෙනි.
එම සමුළුව පැවැත්වීමට මෙන්ම ඊට අදාළ රැස්වීම්, සංගීත උලෙළ සහ විනෝද චාරිකා වැඩසටහන් සඳහා සත්කාරකත්වය දැරීමට රුපියල් කෝටි 10ක රජයේ මුදල් ආණ්ඩුව මෙරට පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් වෙත ලබාදුන් බවට සමාජයේ මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
ඒ අනුව රජයේ මුදල් එලෙස පෞද්ගලික නාලිකාවකට ලබාදීමේ පදනම කුමක්දැයි ප්‍රශ්න කරමින් ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට මේ පිළිබඳව පැමිණිල්ලක්ද අද ඉදිරිපත් කළේය.



















































