
මහනුවර දිස්ත්‍රික්කයේ දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සම්බන්ධ ගැටලු රැසක් සාකච්ඡාවට ලක් කරමින්, ආයතනගතව සිටින දරුවන් ස්වභාවික පවුල් පරිසරයක් වෙත යොමු කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට රජය පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මහතා ප්‍රකාශ කරයි.
මහනුවර දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන අනුකමිටු රැස්වීම මෙහෙයවමින් සහ ටිකිරි සෙවණ රජයේ භාරගැනීමේ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
දරුවෙකුට ආරක්ෂාව සැලසීම යනු ඔහුව හෝ ඇයව ආයතනයක රඳවා තැබීම පමණක් නොවන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, හැකි සෑම අවස්ථාවකදීම ආදරය, රැකවරණය සහ සුරක්ෂිතභාවය සහිත ස්වභාවික පවුල් පරිසරයක හැදී වැඩීමට අවශ්‍ය අවස්ථා නිර්මාණය කළ යුතු බව පෙන්වා දුන්නේය.
ඒ සඳහා පවතින නීතිමය හා ආයතනික බාධා හඳුනාගෙන අවශ්‍ය සංශෝධන සිදු කිරීමත්, නීතිමය අඩුපාඩු මඟහරවා ගැනීමත් රජයේ අපේක්ෂාවයි.
දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 19ට අඩු දරුවන් 430,761ක් සිටින අතර, ඔවුන්ගේ ආරක්ෂාව සහ සංවර්ධනය වෙනුවෙන් පෙර පාසල් 1,142ක්, ළමා සංවර්ධන මධ්‍යස්ථාන 20ක් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන 203ක් ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත්, පවුල් පසුබිමේ ගැටලු, මව්වරුන් විදේශගත වීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ රැකවරණය, මානසික සෞඛ්‍ය ගැටලු සහ ආරක්ෂිත රැඳවුම් පහසුකම්වල හිඟය ඇතුළු අභියෝග රැසක් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
මෙම ගැටලු සඳහා තනි ආයතනයක මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බැවින්, අදාළ සියලු ආයතන ඒකාබද්ධ කරගත් බහුආංශික යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
ක්‍රියාත්මක කරන ලද සංවර්ධන වැඩසටහන්
පූර්ව ළමාවිය සංවර්ධන වැඩසටහන් යටතේ 2026 සැප්තැම්බර් 30 වන විට,
ගර්භණී සහ කිරිදෙන මව්වරුන් 13,785 දෙනෙකුට රුපියල් 45,000ක පෝෂණ ප්රතිලාභ ලබා දී ඇත.
පෙර පාසල් දරුවන් 9,843 දෙනෙකුට උදෑසන ආහාරය ලබා දී ඇත.
'ගුරු අභිමානී' වැඩසටහන යටතේ පෙර පාසල් ගුරුවරියන් 920 දෙනෙකුට මාසිකව රුපියල් 6,000ක දීමනාවක් ලබා දීම සිදු කෙරේ.
එමෙන්ම ළමා අයිතිවාසිකම් සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් මෙහෙයුම් කමිටු රැස්වීම්, ළමා සභා රැස්වීම් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මේ වන විටත් ක්‍රියාත්මක කර තිබේ.
මෙම සාකච්ඡාව සඳහා අදාළ අංශවල නිලධාරීන් සහ ආයතන ප්‍රධානීන් සහභාගී වී සිටි අතර, ඉදිරියේදීත් මෙම ගැටලු විසඳීම සඳහා අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



















































