මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් නිලධාරීන් 208 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.
අද දෙරණ “Big Focus” වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ විවිධ වැරදි හේතුවෙන් පොලිස් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසකගේ වැඩ තහනම් කර ඇති බවය.
පොලිසිය තුළ නුසුදුසු හා දූෂිත නිලධාරීන් සිටින බව පිළිගත් ඔහු, ඔවුන් හඳුනාගෙන ඉවත් කිරීමටත්, ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන බව පැවසීය.
එමෙන්ම, 2025 ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා ළමුන් 11,131 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඒ අතර ගැහැණු ළමුන් 233 දෙනෙකු සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පාසල් සහ උපකාරක පන්ති ආශ්‍රිතව අයිස් මත්ද්‍රව්‍ය ඇතුළු මත්ද්‍රව්‍ය බෙදාහැරීම පිළිබඳව පොලීසිය අවධානයෙන් සිටින බවද ඔහු පැවසීය.
අයිස් පැකට්, බොම්බේ මොටයි සහ සාරවිට වැනි දෑ හරහා මත්ද්‍රව්‍ය ලබාදීමේ සිදුවීම් පිළිබඳව විමසිල්ලෙන් සිටින අතර, ඒවා වැළැක්වීම සඳහා බුද්ධි නිලධාරීන් යොදවා ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
දරුවන්ගේ ආහාර පුරුදු, හැසිරීම, කතාබහ සහ මිතුරු සබඳතා වෙනස් වන්නේ නම් ඒ පිළිබඳව දෙමාපියන් අවධානය යොමු කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියේය.
“මේ වනවිට ඇතැම් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වී තිබෙනවා. මේ වනවිට පොලිස් නිලධාරීන් 208 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිනවා. එසේම, විවිධ වැරදි හේතුවෙන් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසකගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ නිසා පොලිසිය කෙරෙහි විශ්වාසය තබන්න. අප අතර නුසුදුසු සහ දූෂිත චරිත නොමැති බව කියන්න බැහැ. ඒ අය හඳුනාගෙන තිබෙනවා. ඔවුන් ඉවත් කිරීමටත්, ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කර තිබෙනවා.
අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් මේක අහගෙන ඉන්නවා නම්, තම දුවගේ හෝ පුතාගේ හැසිරීමේ, කතාබහේ සහ සම්බන්ධතා තුළ වෙනසක් තිබෙනවාද කියලා අවධානය යොමු කළ යුතුයි. දරුවා ඉස්සර කෑම කෑ විදිහට නොවෙයි දැන් කන්නේ, ඉස්සර අම්මා තාත්තා කියන දේ අහගෙන හිටියාට වඩා වෙනස්ව හැසිරෙනවා, ඉස්සර ඇසුරු කළ මිතුරන් වෙනුවට වෙනත් මිතුරන් ඇසුරු කරනවා නම් ඒ වෙනස්කම් ගැන දෙමාපියන් සැලකිලිමත් විය යුතුයි.
2025 ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා ළමුන් 11,131 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ගැහැනු ළමුන් 233 දෙනෙකු සිටිනවා. මෙය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්.
ෆේස්බුක් සාද සම්බන්ධ ගැටලු පිළිබඳව අපි අධීක්ෂණය කරමින් සිටිනවා. පාසල් සහ උපකාරක පන්ති ආශ්‍රිතව, අයිස් පැකට්, බොම්බේ මොටයි සහ සාරවිට වැනි දෑ හරහා මේ කටයුතු සිදුවන බවට තොරතුරු තිබෙනවා. දැන් ඒවාට තිත තබා තිබෙනවා. සෑම තැනකම බුද්ධි නිලධාරීන් යොදවා සිටිනවා. ඒ නිසා මේ තත්ත්වය නතර කිරීමට අපි කටයුතු කරනවා.”