
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පළමුවරට සංවිධානය කරනු ලබන ‘Board Leader Ready’ සම්මන්ත්‍රණය නොවැම්බර් මස 7 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බී. පී. එච්. දිසාබණ්ඩාර මෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන අතර විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරන ප්‍රවීණයින් විසින් විෂය මූලික සැසි 4ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.
වඩාත් වගකීම් සහගත, දැනුවත් සහ ප්‍රතිපත්ති ගරුක අධ්‍යක්ෂ මණ්ඩල නායකත්වයක් බිහිකිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර ඇත.
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වීම හුදෙක් තනතුරක් දැරීම පමණක් නොව එය අති විශාල වූ වගකීමක් වන බවද සඳහන් කර සිටි නීතිඥ රජීව් අමරසූරිය මහතා, අධ්‍යක්ෂවරයෙකුට නීතිමය වගකීම පිළිබඳ නිසි අවබෝධයක් තිබිය යුතු බවද පැවසීය.
ඇතැම් ආයතන මුහුණදී ඇති අර්බුද සලකා බැලීමේ දී නිසි ආයතනික පාලනයක වැදගත්කම ඉතා පැහැදිලිව පෙනී යන බවද පැවසු ඒ මහතා, දුර්වල ආයතනික පාලනයක ප්‍රතිවිපාක ආයතනයට පමණක් සීමා නොවන බවද මෙහිදී අවධාරණය කළේය.
එහි ප්‍රතිවිපාක ආයෝජකයින්ට, සේවකයින්ට, මහජනතාව පමණක් නොව සමස්ත රටේ ආර්ථිකයටම බලපෑම් එල්ල කරන බව සඳහන් කර සිටි ඒ මහතා එබැවින් ආයතනික පාලනය පිළිබඳව නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම ජාතික අවශ්‍යතාවයක් බව පැවසීය.
දැනට අධ්‍යක්ෂ මණ්ඩලවල සිටින සහ අනාගතයේ එවැනි තනතුරු භාරගැනීමට සිටින වෘත්තීකයින් ඉලක්ක කරගනිමින් ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම සම්මන්ත්‍රණයේ මූලික අරමුණ වන බවද නීතිඥ රජීව් අමරසූරිය මහතා අවධාරණය කළේය.
සම්මන්ත්‍රණය කොළඹ Courtyard by Marriott හෝටලයේ දී පැවැත්වේ.



















































