
මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් මෙරට ඉන්ධන මිල ද ඉහළ දැමීමට සිදුවූ බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඉන්ධන ආනයනය සඳහා රජයට දැරීමට සිදුව ඇති වියදම සියයට 50කින් පමණ ඉහළ ගොස් ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (02) පැවති 'දෙරණ 360' කාලීන දේශපාලන සංවාදයට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ඉන්ධන මිල සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කරන ඇතැම් යෝජනා ප්‍රායෝගික නොවන බවය.
විශේෂයෙන්ම වරායට ඉන්ධන ආනයනය කරන මිලටම පාරිභෝගිකයන්ට ඉන්ධන ලබා දෙන ලෙස විපක්ෂය සඳහන් කර සිටිය ද, ලෝකයේ කිසිදු රටක එවැනි ක්‍රමවේදයක් නොමැති බව ද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ජනතාවට සහනයක් ලබාදීම සඳහා රුපියල් බිලියන 57ක මුදලක් ඉන්ධන සහනාධාර ලෙස වෙන් කිරීමට රජය කටයුතු කළ බවය.
කෙසේ වෙතත්, ඉන්ධන ආනයනය සඳහා දැරීමට සිදුවන වියදම පසුගිය වසරට සාපේක්ෂව සියයට 50කින් පමණ ඉහළ ගොස් ඇති පසුබිමක ඉන්ධන මිල සම්පූර්ණයෙන්ම අඩු කිරීමට හෝ තවදුරටත් විශාල සහනයක් ලබාදීමට රජයට හැකියාවක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙසේ පැවසීය.
"ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් සමඟ අපේ රටේ ද ඉන්ධන මිල සාපේක්ෂව ඉහළ දැමීමට සිදුවුණා. අපට පාලනය කළ නොහැකි මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් තමයි මෙලෙස අසාමාන්‍ය ලෙස මිල ඉහළ යාමක් සිදුවුණේ.විපක්ෂය ඉදිරිපත් කරන ඇතැම් යෝජනා ප්‍රායෝගික නැහැ. විපක්ෂ නායකතුමා නිතරම අහනවා වරායට ඉන්ධන ගෙන එන මිලටම පාරිභෝගිකයන්ට ලබාදෙන්න බැරි ඇයි කියලා. නමුත් ලෝකයේ කිසිදු රටක වරායට ඉන්ධන ගෙන එන මිලටම පාරිභෝගිකයන්ට ලබාදෙන ක්‍රමවේදයක් ගැන මම අහලා නැහැ.
මම කලින් කිව්වා වගේ, බදු අඩු කිරීම සහ සහනාධාර ලබාදීම කියන දෙකම එකයි. ඒ නිසා මේ ප්‍රශ්නය මතුවූ මුල් අවස්ථාවේදීම රුපියල් බිලියන 57ක මුදලක් ඉන්ධන සහනාධාර ලබාදීම සඳහා රජය වෙන් කළා. අපේ රටේ ඉන්ධන ආනයනය සඳහා දැරීමට සිදුවන වියදම පසුගිය වසරට සාපේක්ෂව සියයට 50කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නය තවමත් පවතිනවා. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම රිලැක්ස් කරන්න මේක අවස්ථාව නෙමේ.''


















































