
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් සඳහා අවි බලය භාවිත කිරීම වෙනුවට දේශපාලනික විසඳුම් කෙරෙහි සියලු පාර්ශ්ව අවධානය යොමු කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා පවසයි.
බීජිං නුවරදී ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් අලි බාගෙරි කානි මහතා හමුවූ අවස්ථාවේදී චීන විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මැදපෙරදිග ගැටුම් විසඳීම සඳහා සංවාදය සහ සාකච්ඡා මාර්ගය අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව වැන්ග් යී මහතා එහිදී අවධාරණය කර ඇති බවය.
එමෙන්ම ඉරානයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව සුරක්ෂිත කර ගැනීම සඳහා චීනයේ සහාය හිමිවන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
මේ අතර, චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඕමාන නායක සුල්තාන් හයිතම් බින් තාරික් අල් සයිඩ් මහතා හමුවී තිබේ.
එහිදී මැදපෙරදිග සහ ගල්ෆ් කලාපය මහා බලවතුන් අතර තරගකාරීත්වයේ යුද පිටියක් බවට පත් නොවිය යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
එම හමුවෙන් අනතුරුව නිකුත් කළ චීන-ඕමාන ඒකාබද්ධ ප්‍රකාශයකින් මැදපෙරදිග කලාපය සම්බන්ධයෙන් චීනය ඉදිරිපත් කර ඇති සාම යෝජනාවලට ඕමානයේ සහාය පළ කර තිබේ.
කලාපය තුළ දිගුකාලීන ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා චීනය වඩාත් සක්‍රීය කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම ප්‍රකාශයේ සඳහන් වේ.
මැදපෙරදිග කලාපය තුළ සිය රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම තවදුරටත් පුළුල් කිරීමට උත්සාහ කරන චීනය, සිය මැදපෙරදිග කලාපීය විශේෂ නියෝජිතයා මෙම මාසය තුළ ඉරානය, ඕමානය සහ සෞදි අරාබියේ සංචාරය කිරීමට නියමිත බව ද නිවේදනය කර තිබේ.

















































