
‘අර්නාබ්’ සුළි කුණාටු හේතුවෙන් සන්නිවේදන සබඳතා බිඳ වැටී අතුරුදන්ව සිටි කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය “IMUL-A-0022 TLE” දරන ධීවර යාත්රාව සහ එහි සිටි ධීවරයින් සිව්දෙනා නිරුපද්රිතව සොයාගෙන තිබේ.
පොතුවිල් වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදු ප්රදේශයේදී අද (01) මෙම යාත්රාව සොයා ගැනීමට හැකි වූ බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශය සඳහන් කර සිටී.
මෙම ධීවර යාත්රාව සිව්දින ධීවර කටයුත්තක් සඳහා පසුගිය ඔක්තෝබර් 21 වැනිදා කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් ඇත.
‘අර්නාබ්’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ තද සුළං සහ රළු මුහුදු තත්ත්වයට මුහුණ දීමත් සමඟ යාත්රාවේ සන්නිවේදන සබඳතා බිඳ වැටී ඇති අතර, ඒ හේතුවෙන් ගොඩබිම සමඟ පැවති සියලු සම්බන්ධතා ඇනහිට තිබිණි.
යාත්රාව පිළිබඳ තොරතුරක් නොමැති බවට ධීවර දෙපාර්තමේන්තුවේ සෙවීම් හා මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්යස්ථානයට වාර්තා වීමත් සමඟ අදාළ යාත්රාව සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ධීවර අමාත්යාංශයේ මැදිහත්වීමෙන් ශ්රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ අදාළ මුහුදු කලාපයේ ගමන් කළ අනෙකුත් ධීවර යාත්රා ඒකාබද්ධ කර ගනිමින් විශේෂ මෙහෙයුමක් ක්රියාත්මක කර ඇත.
ඒ අනුව අතුරුදන්ව තිබූ අදාළ යාත්රාව සහ ධීවරයින් සිව්දෙනා සොයා ගැනීමට හැකිවූ බව අමාත්යංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශය පවසන්නේ ධීවරයින් සිව්දෙනාම යහපත් සෞඛ්ය තත්ත්වයෙන් පසුවන බවත්, ඔවුන් ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒමට අවශ්ය කටයුතු සිදුකරමින් පවතින බවත් ය.
කෙසේවෙතත් මෙම සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා සහාය දැක්වූ ශ්රී ලංකා නාවික හමුදාවට, වෙරළාරක්ෂක බලකායට සහ ධීවර ප්රජාවට, ධීවර අමාත්යාංශය සිය කෘතවේදීත්වය ද පළ කර ඇත.
මේ අතර, ඉදිරියේදී මුහුදු යන සියලුම ධීවරයින් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සහ ධීවර දෙපාර්තමේන්තුව නිකුත් කරන කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ද අමාත්යාංශය ඉල්ලීමක් කර තිබේ.
එමෙන්ම මුහුදු යාමට පෙර සන්නිවේදන උපකරණවල ක්රියාකාරීත්වය නිසි පරිදි පරීක්ෂා කර තහවුරු කරගන්නා ලෙස ද ධීවර ප්රජාවට වැඩිදුරටත් දැනුම් දී ඇත.

















































