
ඊශ්රායලයේ ටෙල් අවිව් නුවර සිට ඔස්ට්රියාවේ වියානා නුවර බලා පියාසර කරමින් තිබූ ඔස්ට්රියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් බෝම්බ තර්ජනයක් හේතුවෙන් බල්ගේරියාවේ අගනුවර වන සොෆියා නුවරට හදිසියේ ගොඩබස්වා තිබේ.
ගුවන් ගමන් පිළිබඳ දත්ත නිරීක්ෂණය කරන Flightradar24 ආයතනයේ තොරතුරුවලට අනුව, OE-LZE ලෙස ලියාපදිංචි කර ඇති එයාර්බස් A320 (Airbus A320) වර්ගයේ මෙම ගුවන් යානය ටෙල් අවිව් නුවරින් පස්වරු 6.40ට පමණ පිටත්ව ගොස් ඇති අතර, පසුව රාත්රී 9.25ට පමණ සොෆියා නුවර වෙත හරවා යවා ඇත.
විදෙස් මාධ්ය වාර්තා කළේ, එම අවස්ථාවේදී ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හයදෙනෙකු සහ මගීන් 51 දෙනෙකු සිටි බවය.
ගුවන් යානය සොෆියා ගුවන් තොටුපොළට ගොඩබසින තෙක් බල්ගේරියානු ගුවන් හමුදාවට අයත් ප්රහාරක යානයක් එයට ආරක්ෂාව සපයමින් පියාසර කර ඇති බව ද වාර්තා වේ.
ගුවන් යානය ගොඩබැස්වීමෙන් අනතුරුව මගීන් ආරක්ෂිතව ඉන් ඉවත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.



















































