
ඉන්දීය ප්රකට බොලිවුඩ් නළුවෙකු වන ටයිගර් ෂ්රොෆ් ඉලක්ක කර මුම්බායි හි ජුහු ප්රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.
මෙම වෙඩි තැබීමෙන් ඔහුට කිසිදු හානියක් සිදුව නොමැති අතර, ඔහුගේ රියැදුරු සහ තවත් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඉන්දීය මාධ්ය වාර්තා කරයි.
ටයිගර් සිය සේවා ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී, එනම් ඉන්දීය වේලාවෙන් ඊයේ රාත්රි 7.00 පමණ මෙම ප්රහාරය එල්ල වී ඇති බවද සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා, අපරාධකරුවන්ට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගන්නා ලෙස මහාරාෂ්ඨ ප්රාන්තයේ ප්රධාන අමාත්ය සහ ස්වදේශ අමාත්ය දේවේන්ද්ර ෆඩ්නවිස්, මුම්බායි පොලිස් කොමසාරිස් වෙත දැඩි නියෝග නිකුත් කර තිබේ.
එමෙන්ම, මෙම ප්රහාරයත් සමඟ සමස්ත ඉන්දීය සිනමා සේවක සංගමය දැඩි ප්රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, බොලිවුඩ් කර්මාන්තය ඉලක්ක කර අඛණ්ඩව එල්ල වන ප්රහාර හමුවේ කර්මාන්තය අස්ථාවරභාවයකට පත්ව ඇති බවය.
සල්මන් ඛාන්ගේ නිවසට එල්ල වූ වෙඩි ප්රහාර, සයිෆ් අලි ඛාන්ගේ නිවසේදී ඔහුට එල්ල වූ පිහි ප්රහාර, රෝහිත් ෂෙට්ටිගේ නිවසට එල්ල වූ වෙඩි ප්රහාර මෙන්ම ප්රකට ප්රහසන ශිල්පී කපිල් ෂර්මාගේ වෙළෙඳසැලකට එල්ල වූ ප්රහාර පෙන්වා දෙන එම සංගමය, අපරාධකරුවන් බොලිවුඩ් ප්රසිද්ධ පුද්ගලයින් බිය ගන්වා කප්පම් ලබා ගැනීමට උත්සාහ කරන බව අවධාරණය කර සිටී.
එබැවින්, වහාම ක්රියාත්මක වී ප්රහාරයේ මහමොළකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත්, කර්මාන්තයේ නියුතු පිරිස් වෙත සැබෑ ආරක්ෂාවක් තහවුරු කරන ලෙසත් ඔවුන් රජයෙන් ඉල්ලා සිටී.



















































