
ශ්රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක හිමිපාණන් වහන්සේ අද (18) අපවත් වූහ.
කලක් රෝගාතුරුව පසුවූ උන්වහන්සේ මහනුවර පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අපවත්ව තිබේ.
අපවත් වනවිට 96 වැනි වියෙහි පසුවූ අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ, ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය කේන්ද්ර කරගනිමින් මෙරට බෞද්ධ පුනර්ජීවනය උදෙසාත්, සංස්කෘතික අභිවෘද්ධිය උදෙසාත් සුවිශාල මෙහෙවරක් ඉටුකළ යතිවරයාණන් වහන්සේනමකි.
එමෙන්ම ජාතික හා ආගමික වශයෙන් වැදගත් වූ විවිධ අවස්ථාවන්හිදී රටත් ආගමත් වෙනුවෙන් අභීතව හඬ නැගූ යතිවරයාණන් වහන්සේනමක් ලෙසද උන්වහන්සේ ගෞරවාදරයට පාත්ර වූහ.
අපවත් වී වදාළ සිරිවිමල අනුනායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන දිනය සහ ස්ථානය පිළිබඳ ඉදිරියේදී ආදාහන කමිටුව විසින් දැනුම්දීමට නියමිතය.



















































