
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවි උද්යානයේදී ඇරඹි සත්යග්රය අතරතුර ඇතිවූ නොසන්සුන්තාව මහ රෝහල් ගත කළ පූජ්ය කස්සප හිමියන් සම්බන්ධව කොළඹ ජාතික රෝහල ප්රකාශයක් නිකුත් කර තිබේ.
කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කරනුයේ මූලික පරීක්ෂාවෙන් පසු තවදුරටත් ප්රතිකාර අනවශ්ය බව පවසා ජාතික රෝහලින් පිටත්ව ගොස් ඇති බවය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර මහතා,
"අද දින පස්වරු 8.30ට පමණ ශ්රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ප්රතිකාර සඳහා පැමිණි බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ පැයකට පමණ පසු ප්රතිකාර තවදුරටත් අනවශ්ය බව දන්වා රෝහලින් බැහැරව ගොස් තිබෙනවා. ඒ වගේම උන්වහන්සේ පැමිණි කාරණාව සම්බන්ධව අදාළ වෛද්යවරු විසින් පරීක්ෂා කර බලා අදාළ විකිරණ පරීක්ෂණයන් අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයන්, ඒ වගේම උන්වහන්සේගේ ලේ පරීක්ෂාවන් සිදුකරලා බලලා තියෙනවා ඒවායේ කිසිදු වරදක් ඇති බවට ඒ අවස්ථාවේදී සලකුණු සටහන් වෙලා නෑ. ඒ වගේම උන්වහන්සේගේ හිසට පහර වැදුණු බවට පැවසීම නිසා වෛද්යවරු යෝජනා කරලා තිබුණා හදිසි අනතුරු වාට්ටුවකට ඇතුළත් වෙලා උන්වහන්සේව පූර්ණ ලෙස පරීක්ෂාවට, නිරීක්ෂණයට ලක් කරලා නිරීක්ෂණ වාට්ටුවක තබා ගැනීමේ අවශ්යතාව උන්වහන්සේට දැනුම්දීලා තිබුණා. නමුත් උන්වහන්සේ එම ප්රතිකාරයන් අවශ්ය නොවන බව පවසා පැයකට පමණ පසු රාත්රි 9.30ට පමණ ශ්රී ලංකා ජාතික රෝහලින් බැහැරව ගිය බවට වාර්තා වෙනවා."



















































