
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සත්යග්රහයේ නිරත වූ බලංගොඩ කස්සප හිමියන්ට පහරදීමේ සිදුවීම එක්සත් ජාතික පක්ෂය විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ මාලිමා රජය යටතේ ක්රියාත්මක වන අබෞද්ධකරණ වැඩපිළිවෙලෙහි තවත් එක් පියවරක් ලෙස මෙම ක්රියාව හඳුන්වා දිය හැකි බවයි.
වත්මන් රජය බලයට පත් වූ දින සිටම බුද්ධ ශාසනයට සහ බුද්ධාගමට දිගින් දිගටම කෙනෙහිලිකම් සිදුවන බවත්, භික්ෂූන් වහන්සේලාට පහරදීම්, අපහාසකිරීම් සහ හිරිහැරකිරීම් හමුවේ මෙම ආණ්ඩුවට දීර්ඝ ගමනක් යා නොහැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එලෙසම පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ සම්පූර්ණ බලතල හිමිවන්නේ උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාවට සහ එහි මහා නායක අතිපූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමියන්ට පමණක් බව එජාපය පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහනායක හිමිවරුන්ගේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කළ ද, මෙම ගැටලුවට සෘජුවම සම්බන්ධ කෝට්ටේ සංඝ සභාවට ඒ සඳහා ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් පක්ෂය ප්රශ්න කර සිටියි.
කෝට්ටේ පාර්ශවය සමඟ සාකච්ඡා නොකිරීමෙන් පෙනී යන්නේ ප්රශ්නය නිරාකරණය කිරීමට රජයට උවමනාවක් නැති බවත්, කෝට්ටේ සංඝ සභාවට ආරාධනා නොකළේ 'පැලවත්තේ නියෝග' මතද යන්න සැක සහිත බවත් නිවේදනයේ දැක්වේ.
1877 අංක 16 දරන බන්ධනාගාර ආඥා පනත සහ ඊට අදාළ රෙගුලාසි පවතිද්දී, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම මඟින් බන්ධනාගාර රෙගුලාසි මෙන්ම බෞද්ධ විනය පිටකය ද උල්ලංඝණය වී ඇති බව එජාපය චෝදනා කරයි.
මෙමඟින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වැනි වගන්තිය බරපතළ ලෙස උල්ලංඝණය වන බව ද එහි සඳහන් වේ.
හිටපු බන්ධනාගාර ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ක්රියා කළ ආකාරයට, සිරගතව සිටින කාලය තුළ ඥානසාර හිමියන්ට සිවුර දරා සිටීමට වත්මන් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පියවර නොගත්තේ මන්දැයි ද පක්ෂය ප්රශ්න කරයි.
බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් මහනායක හිමිවරුන් හමුවීමට යැවීමට පෙර, රෙගුලාසි බරපතළ ලෙස උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන්ට එරෙහිව රජය පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.
එමෙන්ම බන්ධනාගාර කොමසාරිස්වරයා මහා නාහිමිවරුන් හමුවීමට යාම නිලධාරීන්ගේ තීරණයක්ද නැතහොත් බාහිර බලපෑමක් මත සිදුවූවක්ද යන්න පිළිබඳව පාර්ලිමේන්තුව හරහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ද අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් ඉල්ලා සිටියි.



















































