
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති වසර 3ක් තුළ දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ දෙවන තැඹිලි ගම්මානය ස්ථාපිත කිරීම පසුගියදා (10) සිදුවිය.
ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද, දෙහිගම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමිනි.
දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර පසුගිය සැප්තැම්බර් මස 02 වැනිදා ආරම්භ වූ අතර ඊට සමගාමීව බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවන තැඹිලි ගම්මානය මෙලෙස ආරම්භ කෙරිණි.
මෙහිදී සංකේතාත්මකව තැඹිලි වගාකරුවන් හට තැඹිලි පැළ 500ක් බෙදා දීම සිදුකළ අතර දිළිඳු බව තුරන් කිරීම සඳහා ප්‍රජා ශක්ති වැඩසටහන සමග ක්‍රියාත්මක ගෙවතු පොල් පැළ බෙදා දීමේ වැඩසටහන යටතේ පවුල් 250ක් වෙත පොල් පැළ 500ක් බෙදා දීමද මෙහිදී සිදු විය.
එමෙන්ම පොල් ඉඩම් පුනරුත්ථාපන වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමද සිදුකෙරිණි.
මෙම වැඩසටහනෙහි මූලික අරමුණ වී ඇත්තේ 2030 වසර වන විට මෙරට වාර්ෂික තැඹිලි අස්වැන්න ගෙඩි මිලියන 25කින් ඉහළ නැංවීම මෙන්ම තැඹිලි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 12කට වැඩි අගයකින් වර්ධනය කිරීමය.
ඒ අනුව 2026 -2028 කාලසීමාව තුළ නව තැඹිලි වගා ව්‍යාප්තිය සඳහා තැඹිලි පැළ 212,500ක් රෝපනය කිරීමටත් දැනට පවතින තැඹිලි වගාවන් හී ගස් 221,500ක් පුනරුත්ථාපනය කිරීමටත් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
එමෙන්ම නව වගාබිම් ප්‍රමාණය පුළුල් කිරීම මෙන්ම පවතින තැඹිලි ගස්වල ඵලදායිතාව ඉහළ නැංවීම තුළින් තැඹිලි නිෂ්පාදනයේ ප්‍රමාණය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමද මෙමගින් අපේක්ෂා කෙරේ.
තවද තැඹිලි වගාවේ ඵලදායීතාව සහ අස්වැන්නේ ස්ථාවරභාවය තහවුරු කිරීම සඳහා තැඹිලි වගා භූමි අක්කර 500ක් ආවරණය වන පරිදි ජල සම්පාදන පද්ධති ඉදිකිරීමටද මෙම වැඩසටහන යටතේ සැලසුම් කර තිබේ.
විධිමත් ජල කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම තුළින් වියළි කාලසීමාවලදී වගාවන් ආරක්ෂා කර ගනිමින් ස්ථාවර හා ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමද මෙහි අරමුණ වන අතර තැඹිලි වගව ස්ථාපිත කිරීමේ අදියරේ සිට අස්වැන්න නෙලීම, ප්‍රවාහනය, සැලකීම සහ අපනයනය දක්වා වූ සමස්ත වටිනාකම්දාමය විධිමත්ව කළමනාකරණය කිරීම සඳහා වගාකරුවන්, තැඹිලි එකතුකරන්නන් සහ අපනයනකරුවන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන් සම්බන්ධ කෙරෙන නව විධිමත් දත්ත පද්ධතියක් ද ස්ථාපිත කිරීමට නියමිතය.





















































