
ඉන්දියාවේ පැවති දෙවන ආසියානු ප්‍රවීණයන්ගේ පිහිණුම් ශූරතා තරගාවලියට සහභාගී වී පදක්කම් 52ක් දිනාගත් ශ්‍රී ලංකා පිහිණුම් කණ්ඩායම අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ආසියානු කලාපයේ රටවල් 09ක පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,200කගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය ඔක්තෝබර් 03 වනදා සිට 11 වනදා දක්වා ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වුණි.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 17ක් සහ ලෝකඩ පදක්කම් 25ක් දිනා ගැනීමට සමත් වී තිබේ.
මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන 67 හැවිරිදි ජෙහාන් පීරිස් මහතා රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබීම විශේෂත්වයකි.
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අද (12) අලුයම 12.20ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 172 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් සහ ඔවුන්ගේ ඥාතීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.





















































