
ඉන්දුනීසියාවේ පැවති අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගි වී රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 10ක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණියේය.
ලොව පුරා රටවල් 23ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ඉන්දුනීසියාවේ බටහිර ජාවාහිදී පැවති මෙවර තරගාවලිය, ඔක්තෝබර් 2 වැනිදා සිට 6 දක්වා පැවැත්විණි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන අංශයට අයත් විද්‍යා සහ ගණිත ශාඛා මඟින් මෙම සිසුන්ව අදාළ තරගාවලියට යොමුකර තිබුණි.
මෙම තරගාවලිය සඳහා සහභාගි වූ සිසුන් තෝරාගනු ලැබුවේ පාසල්, කලාප සහ පළාත් මට්ටමින් පවත්වන ලද තරග මාලාවකින් අනතුරුවය.
එහිදී පළාත් තරගවලින් ජයග්‍රහණය කළ සිසුන් සඳහා පවත්වන ලද ජාතික මට්ටමේ තරගයේදී ඉහළම ලකුණු ලබාගත් සිසුන් මේ සඳහා තෝරාගන්නා ලදී.
එලෙස තෝරාගත් සිසුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමෙන් පසුව, විද්‍යා අංශයෙන් සිසුන් 12 දෙනකු සහ ගණිත අංශයෙන් සිසුන් 12 දෙනකු වශයෙන් සමස්ත සිසුන් 24 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස ශ්‍රී ලංකාව නියෝජනය කළේය.
තරගාවලියට සහභාගි වූ සිසුන් 24 දෙනාගේම ගුවන් ටිකට්පත් සඳහා වන සම්පූර්ණ පිරිවැය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැරීය.





















































