
ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වූ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන මධ්‍යස්ථානය (CIRDAP) සහ ශ්‍රී ලංකාවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය (HARTI) එක්ව සංවිධානය කරනු ලබන 'ග්‍රාමීය සංවර්ධනයේ නවෝත්පාදන පිළිබඳ ආසියා-පැසිෆික් සමුළුව' අද (07) කොළඹදී ආරම්භ විය.
අද සිට එළැඹෙන 9 වැනිදා දක්වා තෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවට සමගාමීව, ශ්‍රී ලංකාව පිළිබඳ 'CIRDAP' දැනුම් හුවමාරු සංවාදය පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
ආසියා සහ පැසිෆික් කලාපයේ රටවල් 13ක් නියෝජනය කරමින් ප්‍රතිපත්ති සම්පාදකයින්, රජයේ නියෝජිතයින්, පර්යේෂකයින්, සංවර්ධන ක්ෂේත්‍රයේ වෘත්තිකයින්, නවෝත්පාදකයින්, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සහ විද්වත් ප්‍රජාව මෙම සමුළුව සඳහා එක්ව සිටිති.
ප්‍රායෝගික නවෝත්පාදන ඉදිරිපත් කිරීම, දැනුම හුවමාරු කර ගැනීම, ග්‍රාමීය ජීවනෝපායන් ශක්තිමත් කිරීම මෙන්ම තිරසාර ග්‍රාමීය පරිවර්තනය වේගවත් කිරීම සඳහා වන සහයෝගි ප්‍රවේශයන් ගවේෂණය කිරීම සඳහා වන කලාපීය වේදිකාවක් ලෙස මෙම සමුළුව ක්‍රියාත්මක වේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, CIRDAP සාමාජික රටවල නියෝජිතයින්, HARTI ආයතනයේ ප්‍රධානීන් ඇතුළු හවුල්කාර ආයතනවල නිලධාරීහු රැසක් ද සහභාගි වූහ.
සමාරම්භක සැසියේදී 'CIRDAP-REEDS ජාත්‍යන්තර ග්‍රාමීය සංවර්ධන නවෝත්පාදන අභියෝගය 2026' යටතේ තෝරාගත් නවෝත්පාදකයින් 18 දෙනෙකු වෙත සම්මාන ප්‍රදානය කිරීම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අතින් සිදු විය.
මීට අමතරව, ‘ආසියාව සහ පැසිෆික් කලාපය පුරා ග්‍රාමීය සංවර්ධනයේ නවෝත්පාදන’ නමැති විශේෂ ප්‍රකාශනය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.
මෙම අභියෝගතාවෙන් සම්මාන ලැබූ නවෝත්පාදකයින් බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, නේපාලය, පාකිස්තානය, පිලිපීනය, තායිලන්තය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන CIRDAP සාමාජික රටවල් 13 නියෝජනය කරනු ලබයි.





















































