
නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ අඳුනා නොගත් පුද්ගල මළසිරුරක් අද (06) දින සොයාගත් බව නුවරඑළිය පොලීසිය පවසයි.
නුවරඑළිය - බදුල්ල ප්‍රධාන මාර්ගයේ, ග්‍රෙගරි වැවේ ජලය නානුඔයට ගලා බසින පාලම ආසන්නයේ මළසිරුරක් පාවෙමින් තිබෙන බවට එම ජලාශයේ බෝට්ටුකරුවන් විසින් පොලීසිය වෙත ලබාදුන් තොරතුරකට අනුව මෙම සිරුර සොයාගෙන ඇත.
පාවෙමින් තිබූ මළසිරුර නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසුව, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිත බව පරීක්ෂණ පවත්වන නුවරඑළිය පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසීය.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සහ මරණයට හේතුව අනාවරණය කරගැනීම සඳහා නුවරඑළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.





















































