
රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් බීඩි කොළ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු මාරවිල, ලංසිගම ප්‍රදේශයේදී අද (06) අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසිය සමත්ව තිබේ.
මාරවිල පොලීසියේ විශේෂ කාර්යාංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ මෙම බීඩි කොළ තොගය, කිසිවෙකුටත් සැක නොසිතෙන පරිදි සම්පූර්ණයෙන්ම ආවරණය කරන ලද ඇලුමිනියම් බෝඩි සහිත ලොරි රථයකින් වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ලොරි රථය තුළ උර 48ක අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1,846ක් තිබූ බව මාරවිල වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එම්.එස්. රාජපක්ෂ මහතා පැවසීය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කල්පිටිය, ලංසිගම සහ කටුනේරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ බීඩි කොළ තොගය මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.





















































