
update:4.02pm
මේ වන විට සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අදාළ තවත් අල්ලස් නඩුවකට අදාළව ලිහිල් දඬුවමක් ලබා ගැනීම සඳහා අල්ලස් ලබා ගැනීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගත් රෙජිස්ට්‍රාර්වරයෙකු ඔක්තෝබර් මස 06 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන නිසා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ වී ඇතැයි සඳහන් වෙයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ සේවය කළ චරිත් නැමැති සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම සේවකයාගේ ජංගම දුරකථනයේ වට්ස්ඇප් පණිවිඩ පරීක්ෂා කිරීමේදී මෙම සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවත් කියා සිටියේ.
මෙම සැකකරු සහ චරිත් නැමැති පුද්ගලයා අතර මෙම අල්ලස් ගනුදෙනුවට අදාළව හඬ පණිවිඩ සහ කෙටි පණිවුඩ හුවමාරු වී ඇති බවත් මෙම සැකකරු තම දුරකථනයේ තිබු whatsapp යෙදුම මකා දමා තිබෙන බවත් කොමිසම නිලධාරියා සඳහන් කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් කර නොමැති බැවින් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව තම සේවා දායකයා විසින් කිසිදු ආකාරයක මුදල් ලබා ගැනීමක් සිදුකර නොමැති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මෙම මස (06) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳව අල්ලස් ලබා දීමට පෙළඹවීම සම්බන්ධයෙන් වන සිද්ධියකට ඔහු අද (02) උදෑසන අත්අඩංගුවට ගැණුනි.
අත්අඩංගුවට ගත් රෙජිස්ට්‍රාර්වරයා අද දහවල් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.






















































