
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.
ඒ, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලු, පනතේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් අතර පවතින විෂමතා, වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය සහ ඒ සඳහා වන මහජන ප්‍රවේශය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.
එමෙන්ම, පනත කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා පවතින තාක්ෂණික හා පරිපාලනමය ගැටලු විසඳීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කාරක සභාවේ අනුමතිය ලබා දී ඇත.





















































