
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවට අදාළව විත්තිය විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා පිළිබඳ නියෝගය එළැඹෙන ඔක්තෝබර් 08 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුව අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී, දැනට ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් වන, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ,හානිපූර්ණ කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ සේපාලිකා සමන් කුමාරි සහ මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති බණ්ඩාර කොටගම යන පිරිස අධිකරණයේ පෙනී සිටියහ.
නඩු විභාගය අතරතුර, විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්ථික දේවේන්ද්‍ර, නීතිඥ චමින්ද අතුකෝරළ සහ ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න යන මහත්වරුන් විසින් අල්ලස් කොමිසම ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කරනු ලැබීය.
ඊට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මත්මිය කරුණු දැක්වීම් සිදුකළ අතර, ඉන් අනතුරුව විනිසුරුවරයා අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරන දිනය මෙලෙස නියම කළේය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ, 2022 වසරේ මැයි මස 09 වැනිදා ඇති වූ අරගලයේදී හානියට පත්ව තිබුණි.
පසුව එම දේපළ සඳහා වන්දි ගෙවීම නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබියදී, ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8,850,000ක (මිලියන 8.85ක) වන්දි මුදලක් ලබා ගැනීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත.





















































