
බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් නගරයට සහ කැම්පියන් වතුයායේ පහළ කොටසට පානීය ජලය සැපයෙන ප්‍රධාන ජල නළ පද්ධතිය ස්ථාන කිහිපයකින් හානිකර කඩා විනාශ කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කැම්පියන් වතුයායේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයේ සිට තේ වතුයාය හරහා නගරයට ඉහළින් පිහිටි ජල ටැංකියක් වෙත ජලය ගෙන යන ප්‍රධාන නළ පද්ධතිය මෙලෙස විනාශ කර ඇත.
මෙම ජල පද්ධතිය මගින් කැම්පියන් නගරයේ වෙළෙඳසැල් වෙත සහ වතුයායේ පහළ කොටසේ පිහිටි නිවාස සඳහා පානීය ජලය ලබාදීම සිදු කෙරේ.
ඊයේ (27) රාත්‍රියේ සිදුවූ මෙම විනාශකාරී ක්‍රියාව සම්බන්ධයෙන් කැම්පියන් නගරයේ වෙළෙඳුන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, බගවන්තලාව පොලීසිය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම වතුයායේම පදිංචි තරුණයන් දෙදෙනෙකි.
ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව සිදුකළ සෙවුම් මෙහෙයුමකදී කඩා විනාශකර දමා තිබූ ජල නළ කොටස් සොයා ගැනීමට හැකිවී ඇත.
ජල සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිටීම හේතුවෙන් කැම්පියන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම වතුයායේ පහළ කොටසේ පදිංචි වතුකම්කරු පවුල් 225ක් පමණ මේ වන විට දැඩි පීඩාවට පත්ව සිටින බව සඳහන් වෙයි.
මෙම සිදුවීමට විරෝධය පළ කරමින් කැම්පියන් නගරයේ ව්‍යාපාරිකයන් සිය වෙළෙඳසැල් වසා දමා විරෝධතාවයකද නිරත වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඔවුන්ට උපරිම දඬුවම් ලබාදෙන ලෙස පීඩාවට පත් ප්‍රදේශවාසීහු සහ ව්‍යාපාරිකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.





















































