
නව වටයකින් අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ වැඩකටයුතු මේ වන විට අවසන් කර ඇතැයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසයි.
ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළත නව ලේඛනය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව ඕනෑම අයෙකුට අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ අස්වැසුම ප්‍රතිලාභීන් නැවත සමීක්ෂණයක් සිදුකළ බවය.
ඒ අනුව පළවෙනි අදියරේ සහ දෙවන අදියරේදී ලැබී ඇති අයදුම්පත්‍ර සහතික කරමින් පැවති බවත් මෙම මාසය තුළදී එය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය 2023 වසර වන විට අස්වැසුම ප්‍රතිලාභීන් 1,773,445ක් සිටි නමුත් එය පසුගිය 2024 වන විට 1,761,116ක් ලෙස සටහන් වී තිබුණි.
පසුගිය 2025 වසරේදී ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2,439,917ක් ලෙස වාර්තා වූ නමුත් මෙම වසර වන විට ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,251,522ක් දක්වා අඩු වී තිබුණි.
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ප්‍රතිලාභ ලබා දීමේදී අන්ත දුප්පත්, දුප්පත්, අවදානමට ලක්වූ, සංක්‍රාන්ති යන කාණ්ඩ 4ක් යටතේ අස්වැසුම ප්‍රතිලාභය ලැබී තිබූ අතර පසුගිය දෙසැම්බර් මාසයේදී සංක්‍රාන්ති කාණ්ඩය සඳහා කළ ගෙවීම් අවසන් වූ අතර අවදානමට ලක්වූ කොටස් සඳහා ගෙවීම් පසුගිය ජූනි මාසයේදී අවසන් විය.
ඒ අනුව අන්ත දුප්පත් සහ දුප්පත් යන කාණ්ඩ දෙක සඳහා පමණක් අස්වැසුම ප්‍රතිලාභය ගෙවීමට රජය කටයුතු කළ අතර ඒ අතරතුර නැවත සමීක්ෂණ කටයුතුද ආරම්භ කෙරිණි.





















































