
මාන්කුලම් පොලිස් වසමේ පනිච්චම්කුලම ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (24) අලුයම පනිච්චම්කුලම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අඹුසැමි යුවළකට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇති බවය.
තුවාල ලැබූ දෙදෙනා මාන්කුලම් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 68 හැවිරිදි කාන්තාවක් සහ 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
ඔවුන් පනිච්චම්කුලම, මාන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර සන්දිවේලි පොලිස් වසමේ සිත්තන්ඩි ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (24) දහවල් පුද්ගලයෙකු විසින් සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි.
ඉන් අනතුරුව ඇය මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 32 හැවිරිදි සිත්තන්ඩි ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අපරාධයට යොදාගත් පිහිය ද සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සන්දිවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



















































