
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවති අවස්ථාවේදී දුම්රිය සේවය හැකි උපරිමයෙන් පවත්වාගෙන යාම සඳහා කැපවූ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන්ගේ දායකත්වය අගය කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, පවතින දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පටු දේශපාලන අරමුණු මත ක්‍රියාත්මක වූවක් බවය.
කෙසේ වෙතත්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවති අවස්ථාවේදී දුම්රිය සේවය හැකි උපරිමයෙන් පවත්වාගෙන යාමට හැකි වූ බව හෙතෙම අවධාරණය කළේය.
වැඩ වර්ජනය ක්‍රියාත්මක වූ ඊයේ (17) දිනය තුළ පමණක් දුම්රිය ගමන්වාර 187ක් පවත්වාගෙන යාමට හැකිවී ඇත.
යාල් දේවී ඇතුළු යාපනය බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය සේවාව අද (18) දිනයේදී පවත්වාගෙන යාම සඳහා සේවකයන් ලබාදුන් දායකත්වය අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් ඉවත්ව සේවයට එක්වූ පිරිස් වෙතද සිය ස්තූතිය පළ කළේය.
මගී ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙමින් කිසිදු අනතුරකට ඉඩ නොතබා සේවය පවත්වාගෙන යාම සඳහා ඇතැම් නිලධාරීන් පැය 24කට ආසන්න කාලයක් අඛණ්ඩව රාජකාරියේ නිරත විය.
සාමාන්‍යයෙන් විශාල සේවක පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ඇතැම් මෙහෙයුම් ඉතා සීමිත පිරිසක් යොදාගෙන සිදුකළ බව ද ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් පැවසීය.
“මෙය සාමාන්‍ය රාජකාරියක් ලෙස පමණක් සලකා අවසන් කළ නොහැකියි. අසීරු අවස්ථාවක මහජන සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් වගකීම භාරගත් නිලධාරීන් සහ සේවකයන් පැහැදිලිවම ඇගයීමට ලක්විය යුතුයි. ඔවුන්ට සමස්ත රජයේත්, දුම්රියෙන් ගමන් කරන ජනතාවගේත් ගෞරවය හිමිවිය යුතුයි. අප්‍රතිහත කැපකිරීමට ස්තූතියි. අභියෝගය මධ්‍යයේ දුම්රිය සේවය පොදු මහජනතාව වෙනුවෙන් රැකගත් ඔබට රජයේත් ජනතාවගේත් ගෞරවය හිමිවෙනවා.”
















































