
Summary
දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කළද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරගෙන යමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණද ඊයේ මෙන්ම අද දිනයේදීද සියලුම කාර්යාල දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවය.
ඒ අනුව සියලු මාර්ගයන් හී කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකළ බවත් පැවසූ ඒ මහතා මෙම සියලු කාර්යාල දුම්රිය නියමිත පරිදි සවස් කාලයේදීද ධාවනය කරන බවද සඳහන් කළේය.
එමෙන්ම කන්කසන්තුරය සිට කොළඹ දක්වා ධාවනය කිරීමට නියමිත නගරාන්තර දුම්රියද අද සවස නියමිත පරිදි කොළඹ දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයිද මීට අමතරව කන්කසන්තුරය - කොළඹ සහ කොළඹ - කන්කසන්තුරය රාත්‍රී තැපැල් දුම්රියන්ද අද සවස ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයිද ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත් සියලු දුම්රියන් ධාවනයට පෙර මගී ආරක්ෂාව සම්බන්ධව වැඩි අවධානය යොමු කරන බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ඒ අනුව බදුල්ල - නානුඔය දුම්රිය ධාවනය සිදු නොකළ බව පැවසූ ඒ මහතා දුම්රිය ධාවනයට පෙර දුම්රිය මාර්ගයේ ආරක්ෂාව සහතික කිරීමට නොහැකි වූ බැවින් එම මාර්ගයේ දුම්රිය ධාවනය සිදු කිරීමට කටයුතු නොකළ බවද සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ වැඩවර්ජනය හේතුවෙන් යම් දුම්රිය ස්ථානයක් වසා දමා ඇත්නම් www.pravesha.lk වෙත පිවිස තමන්ගේ දුම්රිය ගමන සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍රය ලබා ගැනීමට හැකියාව ඇති බවත් ඒ අනුව අදාළ ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා,
"අපි උඩරට මාර්ගයේ බදුල්ල - නානුඔය අතර දුම්රිය ධාවනය සිදු කළේ නෑ. සමහරක් දුම්රිය ස්ථාන වහලා මේ වැඩවර්ජනයට සම්බන්ධ අය. එතකොට මේ හැම දුම්රියක්ම ධාවනය කරන්න පෙර අපි මගීන්ගේ ආරක්ෂාව පළවෙනි කොට සලකනවා. ඉතිං යම් තැනක ඒක අපිට තහවුරු කරගන්න බැරිනම් අපි දුම්රිය ධාවනය කරන්නේ ඒ ආරක්ෂාව සහතික කළාට පස්සේ. ඉතිං අපිට බදුල්ල දුම්රිය ධාවනය කරන්න මේ වෙනකන් හැකියාව ලැබුණේ නෑ. ඒ හේතුව හින්දා. අපි මුළින්ම මේ නගරාසන්න කාර්යාල දුම්රිය මගීන්ට ප්‍රමුඛත්වය ලබා දුන්නා. අපි බලාපොරොත්තු වෙනවා අද හවසත් මේ සියලුම දුම්රියන් ධාවනය කරන්න.
අපිට බැරිවුණා මඩකලපුව රාත්‍රි තැපැල් දුම්රිය ධාවනය කරන්න. ඒකත් අරවගේ ආරක්ෂාව තහවුරු කරගන්න. අපිට බලාපොරොත්තුවක් තියෙනවා සහ උත්සාහයක් තියෙනවා අද දිනයේ තැපැල් දුම්රිය ධාවනය කරන්න.
අපේ පළවෙනි අරමුණ තිබ්බේ කොළඹට එන කාර්යාල දුම්රිය. මගීන් පැමිණියේ නැත්නම් මේවා ඇනහිටිනවා. අපිට අවශ්‍ය වුණා කොළඹ නගරාසන්න සේවය සාමාන්‍ය තත්ත්වයට ගේන්න."
















































