
පළාත් පාලන ආයතන සම්බන්ධ කරගනිමින් දිවයින පුරා පළාත් පාලන සතිය අද (14) සිට ආරම්භ වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතා පවසයි.
ඒ අනුව අද සිට එළැඹෙන 19 වැනි දින දක්වා දින 6ක් පුරා මෙම පළාත් පාලන සතිය ක්‍රියාත්මක වන අතර මීට අදාළ ජාතික වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම වැඩසටහන සෑම දිස්ත්‍රික්කයකම සියළු පළාත් පාලන ආයතන සම්බන්ධීකරණය කරගනිමින් ක්‍රියාත්මක වනු ඇත.
අමාත්‍යවරයා පැවසුවේ මෙහිදී මූලිකවම ජනතාවට බලපාන ගැටලු මෙන්ම පරිසර, සෞඛ්‍ය සම්බන්ධ ගැටලු සහ සාහිත්‍ය සම්බන්ධ වුවමනාවන්, ඇතුළු සියලු කරුණු ආවරණය වන පරිදි මෙම පළාත් පාලන සතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය.
අද දිනයේ ජංගම සේවා සහ ආදායම් ප්‍රවර්දන දිනය ලෙස නම් කර ඇති අතර ජනතාව අමාත්‍යාංශ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණීම වෙනුවට ජනතාව වෙත පැමිණ ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර දීමේ ක්‍රියාවක් අද දිනයේදී සිදුවූ බවද අමාත්‍යවරයා පැවසීය.
තවද හෙට දිනයේදී මහජන උපයෝගීතා සහ යටිතල පහසුකම් දිනය ලෙස නම් කර ඇති අතර ඒ ඒ ප්‍රදේශ ආශ්‍රිතව පවතින යටිතල පහසුකම් නඩත්තු කිරීම සහ අලුතින් ඇතුළත් කිරීම මෙමගින් සිදු කිරීමට අපේක්ෂිතය.
එමෙන්ම සැප්තැම්බර් 16 වැනි දින පරිසරය හා සම්බන්ධ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර "හෙටට පැලයක් සහ රුක් රෝපණ" පදනමින් මෙම දවස සූදානම් කර ඇතැයිද පැවසූ අමාත්‍යවරයා පාසල් දරුවන්, තරුණ ප්‍රජාව අතර පරිසරය සංරක්ෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන්වලට ඔවුන්ව ඇතුළත් කිරීම මෙම දවස තුළ සිදු කිරීමට සැලසුම් කර තිබේ.
තවද පරිසරයට එකතු වී ඇති ප්ලාස්ටික් ඉවත් කිරීම, කැළි කසළ ඉවත් කිරීම, ඇතුළු වැඩසටහන් රැසක් මෙදින ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.
සැප්තැම්බර් 17 වැනි දින සෞඛ්‍ය, සනීපාරක්ෂක සහ ඩෙංගු මර්දන දිනය ලෙස නම් කර ඇති අතර එහිදී ඉදිරියේදී ඇතිවිය හැකි වර්ෂාවත් සමග ඩෙංගු උවදුර වැඩිවීමේ අවදානම වළකවා ගනිමින් ප්‍රජාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරමින් ඔවුන් සම්බන්ධ කරමින් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කර තිබේ.
සැප්තැම්බර් 18 වැනි දින සාහිත්‍ය, අධ්‍යාපන, පුස්තකාල, සුබසාධන සහ ක්‍රීඩා දිනය ලෙස නම් කර ඇති අතර ඒ අනුව එම ක්ෂේත්‍රවලට අදාළව පාසල් දරුවන්ගේ සහ තරුණ ප්‍රජාවගේ සාහිත්‍ය නිර්මාණ අගය කිරීම්, රසාස්වාදය ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
අවසන් දිනය ලෙස සැලකෙන සැප්තැම්බර් 19 වැනි දින විශිෂ්ඨ සේවාවක් දක්වන ලද රාජ්‍ය සේවකයින්, ආයතන, ප්‍රජා සංවිධාන ඇගයීම, ඔවුන්ට අදාළ සහතික පත්‍ර පිරිනැමීම මෙන්ම ප්‍රතිලාභීන්ට යම් සහනාධාර පිරිනැමීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අමාත්‍යවරයා පැවසුවේ මෙම පළාත් පාලන වැඩසටහන මගින් ග්‍රාමීය මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් පවතින බොහෝ ගැටලුවලට විසඳුම් ලබා දෙමින් ප්‍රජාව සම්බන්ධ කරගනිමින් වැඩසටහන් රැසක් මේ අනුව ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් සැලසුම් සකස් කර ඇති බවය.



















































