
සූර්ය බලශක්ති ව්‍යාපෘති මාලාව යටතේ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300ක් එකතු කිරීමේ ව්‍යාපෘති මාලාවේ පළමුවැන්න අද (13) නිල වශයෙන් ආරම්භ කෙරුණි.
ඒ, වරාය,සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් වේයන්ගොඩදීය.
රට පුරා ක්‍රියාත්මක කරනු ලබන මෙගාවොට් 300ක ඉලක්කගත භූමිය මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති මාලාවේ පළමුවෙන්ම ජාතික විදුලි බල පද්ධතියට එක් කරන ව්‍යාපෘතිය මෙය වේ.
එමගින් මෙගාවොට් තුනක ධාරිතාවයක් උත්පාදනය කරයි.
ශක්තිමත් බලශක්ති උපායමාර්ග තුල රජය ඉහළ වැඩි දායකත්වයක් අත්පත්කර ගන්නා අතර පෞද්ගලික අංශය සඳහා ද හඳුනාගත් අංශයන් තුල මැදිහත්ව පුනර්ජනනීය බලශක්තිය දිරි ගැන්වීමට යෝජනා කර ඇත.
එ් අනුව තෝරාගත් ප්‍රදේශයන් තුල පෞද්ගලික අංශයේ මැදිහත්වීම තුලින් මෙවැනි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වේ.
2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය මගින් ලබා ගැනීම මෙන්ම 2040 වන විට කාබන් ශුන්‍ය තත්ත්වය ළඟාකර ගැනීම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක බවට පත්ව ඇත.
මෙම ක්‍රියාවලිය සඳහා COP26 හි මූලධර්මවලට අනුකූලව නව ගල්අඟුරු බලාගාරවලට එරෙහි ප්‍රතිපත්තිය ද ඇතුළත් වේ.
ජාතික විදුලිබල ජාලයට, සොබාදහමෙන් නොමිලේ ලැබෙන පිරිසිදු පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් අවශෝෂණය කළ හැකිවන ලෙස අදියර වශයෙන් වැඩිදියුණු කිරීම වත්මන් රජයේ ප්‍රධාන බලශක්ති උපාය මාර්ගයන් තුල අන්තර්ගතය.
ඒ අනුව වර්තමාන සියලු ප්‍රයත්නයන් හා ව්‍යාපෘති, පුනර්ජනනීය බලශක්ති භාවිතය වේගයෙන් පුළුල් කිරීම සහ ආනයනික, මිල අධික සහ පරිසර දූෂණයට දායක වන ෆොසිල ඉන්ධන භාවිතය ක්‍රමයෙන් අඩුකිරීම කෙරෙහි ඉලක්කගත කර ඇත.
මෙම ව්‍යාපෘතිය මෙගාවොට් තුනක AC ධාරිතාවයකින් සහ මෙගාවොට් පැය 4,143.36ක DCධාරිතාවයකින් සමන්විතවන අතර, ඒ සඳහා දෙපසින් විදුලිය උත්පාදනය කළ හැකි වොට් 640 ඉහළ කාර්යක්ෂමතාවයෙන් යුතු (Bifacial) සුර්ය පැනල භාවිත කර ඇත.
මේ තුළින් වසරකට විදුලි ඒකක කිලෝවොට් පැය 6,351,770.88 පමණ ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට අපේක්ෂිත අතර, වසරකට වායු ගෝලයට එකතු වන කාබන් ඩයොක්සයි ප්‍රමාණය ටොන් 4,339.53කින් පමණ අවම කිරීමටද දායක වේ.
පොළොවේ සිට මීටර් 2.7ක පමණ උසකින් පැනල සවිකර තිබීම හේතුවෙන්, පැනලවලට පහළින් ඇති භූමියද ඵලදායි ලෙස භාවිත කිරීමට අවස්ථාව සැලසී ඇත.
"නව්‍ය කෘෂි - සුර්ය බලශක්ති සංකල්පයට" අනුකූලව ව්‍යපෘතියක් ලෙස ද ක්‍රියාත්මක අතර බලශක්ති උත්පාදනයට අමතරව නයිමිරිස් සහ වම්බටු වැනි එළවළු වගාවන් සඳහාද ඉඩකඩ සලසා දී තිබීම විශේෂත්වයක් වේ.
වඩාත් පරිසර හිතකාමි තිරසර බලශක්ති ඉලක්කයන් සපුරා ගැනීම පිණිස ව්‍යපෘතිය සැලසුම් කර ඇත.
ඒ සඳහා එකතු කළ කෘෂි - සූර්ය බලශක්ති සංකල්පය මඟින් පුර්නජනනීය බල ශක්ති උත්පාදනය සහ කෘෂි කර්මාන්තය එකට සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි බව පෙන්නුම් කරනු ලබයි.



















































