
කල් ඉකුත් වූ තේ ඇසුරුමක් පාරිභෝගිකයෙකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමට රු. 200,000ක දඩ මුදලක් නියම කර තිබේ.
කල් ඉකුත් වූ තේ ඇසුරුමක් පාරිභෝගිකයෙකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවේදී, විත්තිකාර සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඩ මුදල නියම කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයේදී, 2026.07.15 දින කල් ඉකුත් වූ බව සඳහන් 400gතේ ඇසුරුමක් රු. 1,000කට අලෙවි කර ඇති බව අනාවරණය කරගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2014.08.15 දිනැති අංක 1875/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර ඇති විධාන අංක 52 උල්ලංඝනය කිරීම මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණි.
විධාන අංක 52 අනුව නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන්, සැපයුම්කරුවන් සහ වෙළෙඳුන් විසින් විකිණීමට නුසුදුසු, කල් ඉකුත් වූ හෝ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බව හඳුනාගත් භාණ්ඩ, විකිණීමට ඉදිරිපත් කර ඇති අනෙකුත් භාණ්ඩ සමඟ එක්ව, යාබදව හෝ ඒවා අතර තබා ගැනීම, ගබඩා කිරීම හෝ එක්රැස් කිරීම නොකළ යුතුය.

















































