
ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා සකස් කළ නව පනත් කෙටුම්පත ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලින් එල්ල වන තර්ජනවලින් සමාජය ආරක්ෂා කිරීම, බරපතළ අපරාධ වැළැක්වීම සහ ඒවාට එරෙහිව කටයුතු කිරීම සඳහා අවශ්‍ය නෛතික විධිවිධාන සැලසීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ වේ.
එමෙන්ම, ජාතික සීමා ඉක්ම වූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම සහ ජාතික හා ජාත්‍යන්තර සහයෝගීතාව තුළින් සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීමට අවශ්‍ය නෛතික පසුබිම සැකසීම ද මෙහි අරමුණු අතරට ඇතුළත්ය.
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති මෙම පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී තිබේ.
ඒ අනුව, පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට මූලික අනුමැතිය ලබාදී තිබුණේ 2026 මාර්තු 30 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීය.

















































