
2024 වසරේ ජනවාරි සිට 2025 වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින පුරා සතොස වෙළෙඳසැල් 31ක් පමණ වසා දමා ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (08) පාර්ලිමේන්තුවේ චානක මාදුගොඩ මන්ත්‍රීවරයා ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
මේ වසරේ අගෝස්තු මස 17 වැනිදා වනවිට රට පුරා සතොස වෙළෙඳසැල් 424ක් පිහිටා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය.
එහිදී ආර්. එම්. ජයවර්ධන මහතා අවධාරණය කළේ, වත්මන් ආණ්ඩුව මෙරට බලය අත්පත් කරගන්නා අවස්ථාවේදී සතොස ආයතනය රුපියල් බිලියන 24ක් පාඩුවක් ලැබූ බවය.
ඒ වනවිට රුපියල් බිලියන 11ක ණයක් සහ රුපියල් බිලියන 05ක බැංකු අයිරාවක් එම ජාලය සතුව පැවති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

















































