
ළමුන් දෙදෙනෙකු පාසලකට ඇතුළත් කරදීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ලබාගත් ගාල්ල ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර විදුහල්පතිවරයා විසින් අදාළ දරුවන් ඇතුළත් කරදීම සඳහා එක් ළමයකුට රුපියල් ලක්ෂ තුන බැගින් දෙදෙනාට රුපියල් ලක්ෂ හයක මුදලක් ඉල්ලා ඇති අතර අනතුරුව එම මුදල රුපියල් ලක්ෂ තුනක් දක්වා අඩු කර ඇති බව සඳහන්ය.
ඉන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන 2026 වසරේ පළමු ශ්‍රේණියට එක් ළමයකු ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
අනෙක් දරුවා 08 ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමට කටයුතු කරදීම සඳහා ඉතිරි රුපියල් ලක්ෂ එකහමාරක මුදලින් රුපියල් 50,000ක් ලබාගෙන එම ළමයා ද පාසලට ඇතුළත් කරදීමට කටයුතු කර ඇති බව සඳහන්ය.
අනතුරුව මෙම දරුවන් දෙදෙනා පාසලට ඇතුළත් කර දීමට අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වේ.
එම මුදල ලබා නොදුන්නොත් ළමුන් දෙදෙනාම පාසැලෙන් ඉවත් කරන බව පවසා එසේ සිදු නොකිරීමට ඉල්ලා සිටි රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට උත්සහ දැරීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

















































