
ඉදිරි 2027 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් ඉවත්වීමට නියමිත බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ අනුව මුල් අයවැය ලේඛන මගින් අදියර කිහිපයකින් වැටුප් ඉහළ දැමූ අතර, එළඹෙන නොවැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින්ද රුපියල් දසදහසකට ආසන්න මුදලකින් වැටුප් වැඩි වන බව ඒ මහතා සඳහන් කළේය.
මීට පෙර රුපියල් 17,000ක් ලෙස පැවති රාජ්‍ය සේවයේ අවම වැටුප, ලබන වසර වන විට රුපියල් 40,000 ඉක්මවා යන පරිදි සැලකිය යුතු මට්ටමකින් ඉහළ යන බවද ඔහු පැවසීය.
රාජ්‍ය සේවකයින් වැටුප් පිළිබඳ පීඩනයකින් තොරව රාජකාරි ඉටුකිරීම කාර්යක්ෂමතාවයට අත්‍යවශ්‍ය කරුණක් බවත්, වත්මන් ආර්ථිකයට දරාගත හැකි උපරිම මට්ටමින් මෙම වැටුප් සංශෝධන සිදුකර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා
''වර්තමාන ආණ්ඩුව බලයට ආපු ගමන් පළවෙනියෙන්ම කරපු එක තමයි රජයේ වැටුප් ලබන සියලු දෙනාගේ වැටුප් වැඩි කිරීම. රුපියල් දහදාහකට ආසන්න පළමුවන අයවැය ලේඛනයෙන් වැඩි කරනවා. දෙවෙනි අයවැය ලේඛනයෙනුත් ඒ ප්‍රමාණයම වැඩි කරනවා. තුන්වෙනි අයවැය ලේඛනය එනවා නොවැම්බර් මාසේ. නොවැම්බර් මාසේ ඒ ප්‍රමාණයෙන්ම වැඩි වෙනවා. එතකොට වැටුප් මීට කලින් තිබ්බේ අවම වැටුප රුපියල් දාහත්දාහකට ආසන්න දැන් ඒක ලබන අවුරුද්ද වෙනකොට හතලිස් දාහ ඉක්මවා යන වැටුප් වැඩිවීමක්. ඒ කියන්නේ ඒක එල්ලලා එහෙම නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපි එහෙම කරේ රාජ් ය සේවයේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න...
''ඔබ පීඩාවකට පත්වෙමින් වෘත්තීය කරනවා නම්, විශේෂයෙන් වැටුප මත පීඩාවට ලක්වෙනවා නම්, ඒකට අපි ඇත්තටම උත්තරයක් දෙන්න ඕනේ. නැත්නම් ඔබේ රාජකාරිය හරියට සිද්ධ වෙන්නේ නෑ. ඉතින් අපි හිතනවා, විශාල වැටුප් වැඩිවීමක්, මීට වඩා වැටුප් වැඩි කරන්න පුළුවන් නම්, තවත් හොඳයි. හැබැයි අපේ රටේ ආර්ථිකයට උසුලන්න පුළුවන් ප් රමාණය තමයි, මේ වැඩි කරලා තියෙන්නේ. තව අපි බලමු, ඊළඟ වෙනකොට විශේෂයෙන් දෙදාස් විසි හත අවසන් වෙලා අපේ රට IMF එකෙන් ඉවත් වෙලා මීට වඩා සහන ලබාදෙන්න රජය බලාපොරොත්තු වෙන්නේ. ''

















































