
හොරණ, නාරගල පාලම අසලින් කළු ගඟේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු අතුරින් අතුරුදන් වූ තරුණයා සොයා මේ වනවිටත් මෙහෙයුම් සිදුකෙරේ.
යහළුවන් තිදෙනෙකුගෙන් වයස අවුරුදු 19ක තරුණයෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන් වී ඇතැයි පොලීසිය පවසයි.
එලෙස අතුරුදන්ව ඇත්තේ 19 හැවිරිදි චිරාත් සස්මිත නැමති යාල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.
ඊයේ (31) සවස 7.30ට පමණ දිය නෑම සඳහා මෙම ස්ථානයට පැමිණ ඇති තරුණයන් තිදෙනාගෙන් එක් අයෙකු දියට පැන පිහිනීමට උත්සාහ කිරීමේදී සැඩ පහරට ගසාගෙන ගොස් ඇති අතර, එම අවස්ථාවේ තවත් තරුණයෙකු ඔහු බේරාගැනීමට දියට පැන තිබුණි.
එම අවස්ථාවේ දී බේරාගැනීමට දියට පැන්න පුද්ගලයා ද සැඩපහරට හසුව ඇති අතර, ඔහු දැඩි පරිශ්‍රමයක් දරා පසුව ගොඩට පැමිණ තිබේ.
අනතුරුව මේ සම්බන්ධයෙන් හොරණ පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලීසිය පැමිණ විමර්ශන ආරම්භ කර තිබුණි.
කළුගඟේ සැඩ පහර අධික ප්‍රදේශයක් වන එම ස්ථානයට අද (01) උදෑසන පොලිස් නාවික කොට්ඨාසයේ ජීවිතාරක්ෂක කණ්ඩායම් යොදවා අතුරුදන් වූ තරුණයා සෙවීමට නියමිත අතර එම ප්‍රදේශය තුළ කිඹුලන් ගැවසීම හේතුවෙන් ගං ඉවුරේ ගිනි මැල ගැසීමටද ප්‍රදේශවාසීන් සහ ඔවුන්ගේ මිත්‍රයන් කටයුතු කර තිබුණි.
හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


















































