
අද (23) සවස 5.30 ට පමණ අලුත්ගම පොලිස් වසමට අයත් ගනේගම පුරාණගම පන්සල අසල ඩිපෝව හරස් දුම්රිය මාර්ගයේදී සිදු වූ බිහිසුණු අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබේ.
එ්ත් සමඟම ප්‍රදේශවාසීන් දුම්රිය මාර්ගය හරස්කර දැඩි විරෝධතාවක නිරත වී ඇත.
ඒ අදාළ දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂක ගේට්ටුවක් නොමැති බවත්, ක්‍රියාත්මක වන්නේ වර්ණ සංඥා පද්ධතියක් සහ නාදවීම් පමණක් බවට චෝදනා කරමින්.
ඔවුන් පවස්නේ මෙම ස්ථානයේ නිරන්තරයෙන් අනතුරු සිදුවන නමුත් බලධාරීන් මේ සඳහා කිසිදු පිළියමක් යොදා නොමැති බවය.
මෙම විරෝධතාව හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.
පසුව අලුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා මැදිහත්වී දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලදාරීන් දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින්, සතියක් තුළ මෙම ගැටලුවට නිසි විසඳුමක් ලබා දීමට සාකච්ඡාවක් ලබා දෙන බවට දුන් පොරොන්දු මත ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය අත්හැර දමා තිබේ.
ඒ අනුව, මේ වන විට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කර ඇත.
අලුත්ගම දෙස සිට දර්ගා නගරය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක්, මරදාන දුම්රිය ස්ථානයෙන් අද සවස පිටත් වූ 'සාගරිකා' සීග්‍රාමීය දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙම අනතුරින් ත්‍රීරෝද රථය පැදවූ වයස අවුරුදු 22 ක් වූ මීගම ප්‍රදේශයේ පදිංචි තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, බරපතල තුවාල ලැබූ අනෙක් පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව අලුත්ගම පොලීසිය පවසයි.
අනතුර සිදුවන ආකාර එම ස්ථානයේ තිබූ CCTV කැමරාවක ද සටහන් වී තිබේ.


















































