
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නිලධාරියෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (17) උදෑසන අල්ලස් කොමිසමේ දැනුම්දීමකට අනුව ඔහු එම කොමිසම හමුවේ පෙනී සිටි අතර, ඉන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ, 2006 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබියදී බඳවා ගැනීම සහ පවතින ක්‍රමවේදයෙන් බැහැරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට රජයේ මුදල් වැය කර සහභාගී වීමට අවස්ථාව ලබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ බවය.
එම සිද්ධියට අදාළව දූෂණ වරදකට ආධාර හා අනුබල දීමේ චෝදනාව මත යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් බව කොමිසම සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


















































