
බටහිර-මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති ඔර්නබ් ප්රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී 'ඉතා ප්රබල සුළි කුණාටුවක්' බවට පත්වී ඇත.
අද (27) අලුයම 02.30 වන විට උතුරු අක්ෂාංශ 15.9° සහ නැගෙනහිර දේශාංශ 85.4° ආසන්නයේ, එනම් කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්රගතව පැවතුනි.
මෙය අද සවස 05.30 දක්වා බටහිර බරව වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, ඉන් අනතුරුව වයඹ දෙසට ගමන් කරමින්, හෙට (28) පෙරවරු 11.30 වන විට ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ඉන්දීය ගොඩබිමට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වය අද දිනයේදී තවදුරටත් අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.
නැගෙනහිර පළාතේ පස්වරු 1.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර, උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 80-140 දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැක.
එමෙන්ම මෙම මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් 3.0 – 4.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මෙම මුහුදු ප්රදේශ ඉතා රළු විය හැකිය.
එමනිසා එම මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්රජාවන් ආරක්ෂිත ප්රදේශ කරා යාත්රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.
මේ සම්බන්ධයෙන් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවික ප්රජාවගෙන් ඉල්ලා සිටී.



















































