චාමරට එරෙහි තවත් නඩුවක විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරයි
May 19, 2026 03:55 pm
අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ගොනුකර තිබූ තවත් දුෂණ චෝදනා නඩුකරයක් සම්බන්ධයෙන් පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.
අදාළ නඩුකරය අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කර තිබුණි.
ලබන 23 වනදා සිට එළැඹෙන 06 වනදා දක්වා කාල සීමාව තුළ චීනයේ සංචාරයක නිරත වීම සඳහා තමන්ට පනවා තිබෙන විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙස සැකකාර චාමර සම්පත් දසනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ කාල සීමාව තුළ සැකකරුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස නියෝග කර ඇත.
චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන තවත් නඩුවක් ඊයේ (18) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ද එම නඩුකරයට අදාළව ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට නියෝග කර තිබුණි.
